ශ්‍රී ලංකා ජනපති හා විදේශ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවීය සාකච්ඡා


ලිබියාවේ ට්‍රිපෝලි නුවර පැවැත්වෙන එරට නිදහස් අරගලයේ 40 වන සැමරුම් උත්සව මාලාවට සහභාගිවීම සඳහා එහි ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස එරටට පැමිණ සි‍ටින විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙහි පළමු පියවර වශයෙන් ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට පමණ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා පිලිපීන ජනාධිපතිනී Gloria Aroya මැතිණිය අතර ද්විපාර්ශවීය සාකච්ඡා ට්‍රිපෝලි නගරයේදී ආරම්භ විය.

මෙහිදී ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීම සඳහා ලෝක ප්‍රජාවගේ සහය ලබා ගැනීම පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර, දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු කලාපය ත්‍රස්තවාදයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් ඇති කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද දෙර‍ටේ රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක් වූ කරුණු අතර විය.

එසේම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම තම සුභාශිංසනය පළකිරීමට ද පිලිපීන ජනාධිපතිවරිය මෙය අවස්ථාවක් කර ගත් අතර ‘ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි’ යන මතවාදය වෙනස් කළ ලොව ආදර්ශමත් ම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ද සඳහන් කළාය.

එමෙන්ම මේ වන විට සාමකාමී වාතාවරණයක් ඇති වී ඇති ශ්‍රී ලංකාව තුළ පිලිපීන ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත් දෙරටේ සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය උදෙසා දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරී‍මේ අවශ්‍යතාවත් රාජ්‍ය නායකයෝ අතර සාකච්ඡාවට බඳුන් වූහ.
read more “ශ්‍රී ලංකා ජනපති හා විදේශ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවීය සාකච්ඡා”

ඩොලමයිට් පොහොර නිෂ්පාදනය 07දා ඇරඹේ

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මාතලේ ‍ පිහිටි ඩොලමයිට් කර්මාන්ත ශ‍ා‍ලාවේ ඩොලමයිට් පොහොර නිෂ්පාදනය ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 07වනදා ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මහින්ද චින්තන සංකල්පයට අනුව ‘අපි වවමු රට නගමු’ කෘෂිකාර්මික ප්‍රතිපත්තියට එක් වෙමින් මෙම පොහොර නිෂ්පාදනය ආරම්භ කරයි.

මෙම පොහොර ඉහළ ප්‍රමිතියකින් හා ඉතා පහසුමිලට ගොවිජනතාවට වෙත අලෙවි කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම පොහොර 100%ක්ම ඩොලමයිට්වලින් නිෂ්පාදනය කෙරෙන අතර මෙමඟින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇතිවනු ඇතැයි අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

මීට අමතරව මෙම සංස්ථාව මඟින් සංස්ථා අළුහුණු හා සංස්ථා දියගැසුණු හුණු නිෂ්පාදනය ආරම්භ වන බව අමාත්‍යාංශය සඳහන් කරයි. ‍ ඉහළ ප්‍රමිතියකින් හා ගුණාත්මක බවකින් යුතුව කිලෝ 20ක පැකට් ලෙස අසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

මෙරට කෘෂිකර්මාන්තය සඳහා වසරකට ඩොලමයිට් පො‍ෙහාර මෙට්‍රික්ටොන් 80,000ක් පමණ අවශ්‍ය වන අතර මෙම නව කර්මාන්ත ශාලව මඟින් මසකට ඩොලමයිට් පොහොර මෙට්ට්‍රික්ටොන් 700ක් පමණ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.

මීට‍ අමතරව සිමෙන්ති නිෂ්පාදනය සඳහා ඩොලමයිට් ගල් මෙට්‍රික්ටොන් 1000ක් සිමෙන්ති සමාගම් සඳහා ලබා දීමට කටයුතු කර තිබෙන අතර අළුහුණු දියගැසුණු හුණු මසකට මෙට්‍රික්ටොන් 80- 100ක් ප්‍රමාණයක් ලබා දීමට සැලසුම් කර ඇත.

පාඩු ලබමින් විකුණා දැමීම සඳහා නම් කර තිබුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බලවත් ආයතනයක් වූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ වන විට සක්‍රිය තත්ත්වට පත්කිරීමට හැකි වී තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
read more “ඩොලමයිට් පොහොර නිෂ්පාදනය 07දා ඇරඹේ”

වාස්ගේ බිරිය-පුතා ඇතුළු සැකකරුවෝ යළි රිමාන්ඩ් ලෝක නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම් මඩිහේ නා හිමි පිළිරුව වැඩම කරවීම අද මහනුවර නගර සභා සේවකය

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව පිලිපීනයේ ජනපතිනි ග්ලෝරියා අරෝයා මහත්මිය හා පාකිස්තානයේ අගමැති යුසුප් රාසා ගිලානි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (1) සුබපැතුම් පිරිනැමූහ.

ලිබියාවේ 40 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවයට විශේෂ අමුත්තෙක් ලෙස ට්‍රිපොලි නුවරට ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී සිය සුබ පැතුම් සමඟ අදහස් හුවමාරු කරගත් පිලිපීන හා පකිස්තාන රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීම සඳහා ලෝක ප්‍රජාවගේ සහය ලබා ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රථමයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා පිලිපීන ජනාධිපතිනි ග්ලෝරියා අරෝයා මහත්මිය සමඟ ඊයේ (1) සවස 2.00 ට පැවැති සාකච්ඡාවේ දී දකුණු ආසියානු හා අග්නි දිග ආසියානු කලාපය ත්‍රස්තවාදයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් ඇති කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳව අවධානයට ලක් කෙරිනි.

එමෙන්ම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ම තම සුභාශිංසනය පළකිරීමට ද පිලිපීන ජනාධිපතිවරිය මෙය අවස්ථාවක් කරගත් අතර ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යන මතවාදය වෙනස් කළ ලොව ආදර්ශමත්ම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවද සඳහන් කළාය.

එමෙන්ම මේ වන විට සාමකාමී වාතාවරණයක් ඇති වී ඇති ශ්‍රී ලංකාව තුළ පිලිපීන ව්‍යාපාරික ප්‍රජාවට ව්‍යාපාරික අවස්ථා ලබාගැනීමටත් දෙරටේ සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරීමේ අවශ්‍යතාවත් රාජ්‍ය නායකයෝ අතර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර වූහ.

අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පකිස්තානු අගමැති යුසුප් රාසා ගිලානි මහතා හමු වී සාකච්ඡා කළේ ය. එහි දී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් පුද කළ පාකිස්තානු අගමැතිවරයා ත්‍රස්තවාදයෙන් මුදා ගත් ප්‍රදේශ වල නැවත පදිංචි කිරීමේ කටයුතු හා ප්‍රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරය තම රටට ද ආදර්ශයක් ව ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තානු අගමැති ගිලානි මහතා අතර පැවැති ද්විපාර්ශවිය සාකච්ඡාවේ දී රටවල් දෙක අතර ජාත්‍යන්තර සබඳතා තරකර ගැනීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වල වැදගත් කම මෙහි දී අවධානයට ලක් වූ අතර ඒ තුළින් ඇති වන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍ර සබඳතා රට රටවල් අතර වෙළෙඳ ආර්ථික හා සමාජයීය සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වන බවද මෙහි දී පාකිස්තාන අගමැතිවරයා අවධාරණය කෙළේ ය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හුවමාරු වැඩපිළිවෙළක් දෙරට අතර ක්‍රියාත්මක කිරිමට ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඊ නැණසල ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන පාකිස්තානු රජය විසින් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳවද මෙහි දී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක් විය.

එරට වේලාවෙන් ඊයේ (1) සවස ලිබියානු නිදහස් සටනේ 40 වන සමරුව එරට ශ්‍රේෂ්ඨ නායක කර්නල් මුවම්මර් ගඩාපි මහතාගේ ආරාධනයකට අනුව ලෝක නායකයන් 40 දෙනකු පමණ සහභාගි වීමට නියමිතය. ආසියානු කලාපය නියෝජනය කරමින් මේ සඳහා ආරාධනා ලැබ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නායකයන් තිදෙනකු පමණක් වීම විශේෂත්වයකි.
read more “වාස්ගේ බිරිය-පුතා ඇතුළු සැකකරුවෝ යළි රිමාන්ඩ් ලෝක නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම් මඩිහේ නා හිමි පිළිරුව වැඩම කරවීම අද මහනුවර නගර සභා සේවකය”

ජයප්‍රකාශන් තිස්සනායගම් වසර විස්සක් හිර ගෙට ත්‍රස්තවාදයට මුදල් එකතු කිරීම ඇතුළු අධි චෝදනා 3ක්

ජාති වාදී හැඟීම් අවුස්සා රජය අපකීර්තියට පත්වන ආකාරයේ ලේඛණ මුද්‍රණය කර බෙදා හැරීම හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් රැස් කිරීම යන අධි චෝදනා තුනකට වරදකරු වූ මාධ්‍යවේදී ජයප්‍රකාශන් සිත්තම්පලම් තිස්සනායගම් නමැති විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු දීපාල විජේසුන්දර මහත්මිය ඊයේ (31) නියම කළාය.

විත්තිකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 3 ක් ඉදිරිපත් කර තිබිණි.

විත්තිකරු සත්‍ය සිද්ධීන් විකෘති කරමින් ලිපි ලියා ඇති බව පෙනී යන්නේ යැයිද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සියලුම අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම සියලුම අධිචෝදනාවලට විත්තිකරු වරදකරු කරන බව විනිසුරුවරිය ගේ තීන්දුව සඳහන් කරයි.

හමුදාව මානුෂීය මෙහෙයුම දියත් කැර උතුරු නැඟෙනහිර ත්‍රස්තවාදී පාලනයෙන් මුදා ගනිමින් සිටින විටදී විත්තිකරු අසත්‍ය ලිපි ලියා ඇති බව පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥ සුදර්ශන සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

එම ප්‍රදේශවල සිදුවන මිනීමැරීම්වලට වගකිව යුත්තේ රජයේ හමුදාව බවත් ඔවුන් මෙහෙයුම් සිදු කරන්නේ ප්‍රදේශයේ ජනතාවට ආහාර, ඖෂධ සහ ඉන්්ධන ලබා නොදී ඔවුන් සාගින්නේ තැබීමෙන් ඔවුන් එම ප්‍රදේශවලින් මුදා හැරීමේ යුද උපක්‍රමයක් අනුගමනය කරන බවත් මේ ලිපිවල සඳහන්්ව තිබූ බවද රජයේ නීතිඥවරයා පැවැසීය.

මේ ලිපි කියවන සාධාරණ අයුරකින් සිතන ඕනෑම පුද්ගලයෙකුට, ජනවාර්ගික අසමඟියක් ඇති කැර සාහසික ක්‍රියා ඇති කිරීමේ අරමුණින් මේ ලිපි ලියා ඇති බව පෙනී යන බවද ඒ මහතා කීය. ඉදිරිපත් වී ඇති සාක්කි අනුව යුක්තිය සහ සාධාරණත්වය ඉටුවන තීන්දුවක් ලබා දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය අමතමින් විත්තිකරු තවදුරටත් කියා සිටින්නේ ඔහු නිවැරිදිකරු බව පැවැසීය.

සාධාරණය වෙනුවෙන්් පෙනී සිටීම නිසා රැකියාව අහිමි කැර ගත්් පුද්ගලයෙකු වශයෙන් විත්තිකරු හඳුන්වා දුන් සිල්වා මහතා අසූව දශකයේ දකුණේ සිංහල තරුණයන් ගැන කතා කළ එකම දෙමළ මාධ්‍යවේදියා විත්තිකරු බවද සඳහන් කෙළේය.

විත්තිකරුගේ හිතේ් ජාතිභේදයක් නොමැති බවත් අකටයුතුකම් පිළිබඳව ජාත්‍යන්තරයට පවා ගෙන ගිය මාධ්‍යවේදියෙක් බවද සඳහන් කෙළේය. විත්තිකරු ප්‍රථම වතාවට දෙමළ ජාතින් වෙනුවෙන්් කථා කෙළේ අතුරුදහන් වූවන්ගේ් මව්පිය සංගමය වෙනුවෙන් බව පැවසූ නීතිඥවරයා පෙර වැරදි නොමැති විත්තිකරු වෙනුවෙන්් දඬුවම් නියම කිරීමේදී සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.

පිටු 41 කින් යුත් සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය විත්තිකරු අසාධාරණය වෙනුවෙන් කතා කළ අයෙක් ලෙස විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළ බවත් එය එසේ නම් වාකරේ ප්‍රදේශයේ සිදු වූ දෙයට වඩා වෙනස් දෙයක් ඕනෑකමින්් සත්‍ය විකෘති කර ලියා පළ කැර ඇත්තේ මන්ද යැයි ප්‍රශ්න කරයි.

විත්තියේ සාක්කිවලින්් පැමිණිල්ලේ සාක්කි කෙරෙහි සැකයක් මතු කිරීමට නොහැකි වී ඇතැයිද එවන් සාක්කි පිළිගත නොහැකි බවද තීන්දුව සඳහන් කරයි.

විත්තිකරු අධිචෝදනා තුනට වරදකරු කළ විනිසුරුවරිය පළමු සහ දෙවන අධිචෝදනාවන්ට බරපතළ වැඩ සහිත අවුරුදු පහ බැගින්ද තුන්වැනි අධිචෝදනාවට බරපතළ වැඩ සහිත අවුරුදු දහයක සිර දඬුවමක්්ද විත්තිකරුට නියම කළාය.

2006 ජුනි 01 සහ 2007 ජුනි 01 අතරදී කොළඹ දී ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයේ සහ රජය අපකීර්තියට පත්්වන ලේඛණයක් මුද්‍රණය කිරීමට සහ බෙදා හැරීමට කුමන්ත්‍රණය කිරීම, එය මුද්‍රණය කැර බෙදා හැරීම සහ ත්‍රස්තවාදය සඳහා මුදල් එකතු කිරීම, ගෙවීම සහ රාජ්‍ය නොවන සංවිධාන වලින්් සඟරාවට මුදල් එකතු කිරීම යන අධිචෝදනා විත්තිකරුට ඉදිරිපත් වී තිබූ අධිචෝදනා වේ.

read more “ජයප්‍රකාශන් තිස්සනායගම් වසර විස්සක් හිර ගෙට ත්‍රස්තවාදයට මුදල් එකතු කිරීම ඇතුළු අධි චෝදනා 3ක්”

ජයප්‍රකාශ්ගේ දඩුවමට NGO විරෝධතාවක්

මාධ්‍යවේදී ජයප්‍රකාශ් තිස්සනායගම්ට විසි වසරක සිර දඬුවමක් නියම කිරීමට විරෝධය පළ කරමින් රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ පිරිසක් අලුත්කඩේ උසාවි භූමියේ විරෝධතා දැක් වූහ.

තිස්සනායගම් නිදහස් කරනු යනුවෙන් සඳහන් පුවරු රැගත් 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැය භාගයක් පමණ විරෝධතාවේ යෙදී සිටියහ. වික්‍රමබාහු කරුණාරත්න සහ මාධ්‍යවේදී ධර්මසිරි ලංකාපේලි එම උද්ඝෝෂණයට මූලිකත්වය දී තිබුණි. ලංකාපේලි මහතා එහිදී තිස්සනායගම් මහතා වෙනුවෙන් කතාවක් ද කෙළේ ය.

චෝදනාවලට තීන්දුව නියම වීමට පැය භාගයකට පමණ පෙර එම උද්ඝෝෂණය සිදුවිය.

read more “ජයප්‍රකාශ්ගේ දඩුවමට NGO විරෝධතාවක්”

ආර්ථික අර්බුදය ජය ගැනීමෙහිලා ජනපති කළ යෝජනාව IMF පිළිගනී

ලෝක ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා නව ක්‍රමවේදයක්් සකස් කිරීමට සාක් සමුළුවේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පිළිගෙන තිබේ.

සාක් විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව පෙබරවාරි මස 27 දින කොළඹදී පැවැති අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ යෝජනා කළ අතර ඒ සඳහා නව ක්‍රමවේදයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ වන විටත් සකස් කර තිබේ.

ජනාධිපතිවරයාගේ යෝජනාව පරිදි සංවර්ධනය වෙමින් පවතින රටවලට ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උපකාර කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 250 ක මුදලක් වෙන් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අගෝස්තු 13 වැනිදා අනුමැතිය ලබා දී ඇති අතර එය අගෝස්තු මස 28 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටෙන මුල්‍ය තත්ත්වය ගොඩ ගැනීමට කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් නව ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සාක් විදේශ ඇමැතිවරුන්ගේ අවධානයට යොමු කළ අතර ඔවුහු ඒ යෝජනාව ඇතුළත් ප්‍රකාශයක් සකස් කළහ.

සාක් ඇමැතිවරු සකස් කළ මේ ප්‍රකාශය ලෝකයේ වැදගත් ආයතන වෙත යොමු කර ඇති අතර අප්‍රේල් මස රැස්වූ ජී 20 රටවල් මේ යෝජනාව කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබේ.

ඒ අනුව ජී 20 රටවල් මේ යෝජනාව ක්‍රියාත්්මක කිරීමේ වැදගත්කම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සාක් සභාපතිවරයකුගේ් යෝජනාවක්් පදනම් කොට ගෙන මෙවැනි තීරණයක් ගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වෙයි

read more “ආර්ථික අර්බුදය ජය ගැනීමෙහිලා ජනපති කළ යෝජනාව IMF පිළිගනී”

ජනපති අපේක්ෂකයා වීමට නම් පක්ෂ නායකත්වය ඕනෑ - කරු ජයසූරිය

ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්් වීමට නම්, පක්ෂ නායකත්වය ඇතුළු සියලුම බලතල තමාට ලැබිය යුතු බව, කරු ජයසූරිය මහතා අවධාරණය කොට තිබේ.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයද තමාට ලබාදිය යුතුª බවද හෙතෙම සඳහන් කොට ඇත.

පක්ෂ නායකයා ඇතුළු සියලු බලතල නොමැතිව පක්ෂයේ අපේක්ෂකයා වුවහොත් සිදු වන්නේ්් වත්මන් නායකයාට තම කකුලෙන් ඇදීමට ඉඩ ලබා දීමට යැයිද පක්ෂ නායකයාට අවශ්‍ය පරිදි කකුලෙන් ඇදීමට ඉඩ දී ඔහුගේ ඉත්තකු ලෙස මේ තරගයට ඉදිරිපත්් වුවහොත් අවශ්‍ය පරිදි තීරණ ගැනීමට නොහැකි වන බවද ඔහුගේ සමීපතම හිතවතුන් සමඟ පවසා තිබේ.

පක්ෂ ව්‍යවස්ථාවේ නායකයාට ලබා දී ඇති බලතල මීට ඉහත දී පක්ෂ නායකයා ලෙස සිටි ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මහතාට පවරා දීමේ පූර්වාදර්ශය හෙතෙම සිහිපත් කොට ඇත.

එම අවස්ථාවේ දිසානායක මහතා සිය අදහස්වලට අනුව ප්‍රතිපත්ති ප්‍රකාශ සකසා සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවන අවස්ථාවේදී විජේතුංග ජනාධිපතිවරයා ඔහුගේ කකුලෙන්් නොඇද්ද බවද හෙතෙම සඳහන් කෙළේය.

read more “ජනපති අපේක්ෂකයා වීමට නම් පක්ෂ නායකත්වය ඕනෑ - කරු ජයසූරිය”

යුද ජයග්‍රහණය අධ්‍යයනයට ආසියානු විශේෂඥයින්ගේ අවධානය

එල්. ටී. ටී. ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් ගෙනගිය මානුෂික මෙහෙයුම සාර්ථකව නිමකර ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ සිද්ධි අධ්‍යයනය කිරීමට ආසියානු ශාන්තිකර කලාපීය යුද විශේෂඥයෝ තීරණය කරති.

ජපානයේ පසුගියදා පැවැත් වූ 6 වැනි ශාන්තිකර කලාපීය හමුදා ප්‍රධානීන්ගේ සමුළුවේ දී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා වන්නි මානුෂීය මෙහෙයුමේ ජයග්‍රාහී සවිස්තරාත්මක තොරතුර අනාවරණය කිරීමෙන් පසු එම අවස්ථාවට සහභාගී වූ සමුළු නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණ සිද්ධි අධ්‍යයන කිරීමට තීරණය කර ඒ බව දැනුම් දී තිබේ.

රටවල් 22 ක හමුදා ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් දින හතරක් පුරා ජපානයේ ටොකියෝහි දී පැවැත්වුණ මේ හය වැනි ශාන්තිකර කලාපීය යුද හමුදා ප්‍රධානීන්ගේ සමුළුව (PACC VI) අගෝස්තු මස 24 – 27 වන දිනවල පැවැත්විය.

එක්සත් ජනපදය හා ජපානය යන රටවල සම අනුග්‍රහයෙන් පැවැත්වුණු මේ සමුළුවට ශ්‍රී ලංකාව , ඕස්ට්‍රේලියාව , ඉන්දියාව , ඉන්දුනීසියාව , ජපානය , මැලේසියාව , සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය ඇතුළු ආසියානු ශාන්ති කර රටවල් 22 ක හමුදා ප්‍රධානීන් සහභාගී වූහ.

මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා සමුළුවට සහභාගි වූ සමුළු නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වට 13 ක් පවත් වා ඇත. මානුෂීය උපකාර මෙහෙයුම් සහ ආපදා සහන කටයුතු වලදී හමුදා ප්‍රජා සහයෝගීතාව සම්බන්ධව ගොඩබිම් හමුදාවල කාර්යභාරය යන තේමාව පදනම් කරගත් මේ සමුළුව ප්‍රධාන විෂයපථ දෙකක් මත පැවැත්වීය.

අදාළ විවිධ මාතෘකා සාකච්ඡා කිරීම සඳහා බහු පාර්ශ්වික සාකච්ඡා වට සහ හමුදා ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. කලාපයේ ආපදා සහන කටයුතු හා මානුෂීය මෙහෙයුම් පිළිබඳ බහු පාර්ශ්වීක සාකච්ඡාවල දි වැඩි අවධානයක් යොමු විය.

ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සිදු කරනු ලබන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක් වූ හමුදා ප්‍රධානීන් ඒ සඳහා සිය උපරිම සහය පල කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා රජයේ පූර්ණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ හිඟතාවක් මත එම කර්තව්‍ය පමාවිය හැකි බැවින් ඒ සඳහා සහයවීමේ අවශ්‍යතාව ද ශ්‍රී ලංකා හමුදාපති විසින් පෙන්වා දෙන ලදී.

සමුළුවේ තේමාව අතර විශේෂත්වය වූයේ සහභාගී වු හමුදා ප්‍රධානීන් එල්. ටී. ටී. ඊ යට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව විසින් මෙහෙය වන ලද සාර්ථක මානුෂීය මෙහෙයුම් හා ශ්‍රී ලංකා හමුදාව ඉන් ලද ජයග්‍රහණ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමය.

ඔවුන් ශ්‍ර‍්‍රී ලංකා හමුදාව හා එල්ටීටීඊ ය අතර පැවැති යුද්ධය පිළිබඳ සිද්ධි අධ්‍යනයන් සඳහා අනාගත යුද විශේෂඥයන් ශ්‍රී ලංකාවට යොමු කිරීම පිළිබඳවද අවධානය යොමු කරනා බව දැන්වීය.

මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ජගත් ජයසූරිය විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධි මෙහෙයුම් සහ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදාව ලබාගත් ජයග්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හමුදා ප්‍රධානීන් වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සවිස්තරාත්මක සාකච්ඡාවලදී හමුදාවේ ජයග්‍රහණයන් පිටුපස තිබූ ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිතුමන් සහ ආරක්ෂක ලේකම්ගේ දේශපාලන නායකත්වයත් මානුෂීය මෙහෙයුම්වල සාර්ථකත්වයට සහ සිවිල් ජනතාව බේරා ගැනීමට මනා පිටුබලයක් වු අයුරු පැහැදිලි කරන ලදී.

තවද සරණාගතයන් නැවත පදිංචි කිරීම හා විවිධ සුබ සාධන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා හමුදාව ඉටු කරන කාර්යභාරය හමුදා නියෝජිතයන් වෙත පැහැදිලි කරන ලදී. මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ජගත් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර හමුදා අණදෙන නිලධාරි සමග ද ද්විපාර්ශවික සාකච්ඡාවක් ද පැවැත්වීය.

read more “යුද ජයග්‍රහණය අධ්‍යයනයට ආසියානු විශේෂඥයින්ගේ අවධානය”