යුද ජයග්‍රහණය අධ්‍යයනයට ආසියානු විශේෂඥයින්ගේ අවධානය

එල්. ටී. ටී. ඊ සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් ගෙනගිය මානුෂික මෙහෙයුම සාර්ථකව නිමකර ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ සිද්ධි අධ්‍යයනය කිරීමට ආසියානු ශාන්තිකර කලාපීය යුද විශේෂඥයෝ තීරණය කරති.

ජපානයේ පසුගියදා පැවැත් වූ 6 වැනි ශාන්තිකර කලාපීය හමුදා ප්‍රධානීන්ගේ සමුළුවේ දී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා වන්නි මානුෂීය මෙහෙයුමේ ජයග්‍රාහී සවිස්තරාත්මක තොරතුර අනාවරණය කිරීමෙන් පසු එම අවස්ථාවට සහභාගී වූ සමුළු නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණ සිද්ධි අධ්‍යයන කිරීමට තීරණය කර ඒ බව දැනුම් දී තිබේ.

රටවල් 22 ක හමුදා ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් දින හතරක් පුරා ජපානයේ ටොකියෝහි දී පැවැත්වුණ මේ හය වැනි ශාන්තිකර කලාපීය යුද හමුදා ප්‍රධානීන්ගේ සමුළුව (PACC VI) අගෝස්තු මස 24 – 27 වන දිනවල පැවැත්විය.

එක්සත් ජනපදය හා ජපානය යන රටවල සම අනුග්‍රහයෙන් පැවැත්වුණු මේ සමුළුවට ශ්‍රී ලංකාව , ඕස්ට්‍රේලියාව , ඉන්දියාව , ඉන්දුනීසියාව , ජපානය , මැලේසියාව , සිංගප්පූරුව සහ එක්සත් රාජධානිය ඇතුළු ආසියානු ශාන්ති කර රටවල් 22 ක හමුදා ප්‍රධානීන් සහභාගී වූහ.

මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා සමුළුවට සහභාගි වූ සමුළු නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වට 13 ක් පවත් වා ඇත. මානුෂීය උපකාර මෙහෙයුම් සහ ආපදා සහන කටයුතු වලදී හමුදා ප්‍රජා සහයෝගීතාව සම්බන්ධව ගොඩබිම් හමුදාවල කාර්යභාරය යන තේමාව පදනම් කරගත් මේ සමුළුව ප්‍රධාන විෂයපථ දෙකක් මත පැවැත්වීය.

අදාළ විවිධ මාතෘකා සාකච්ඡා කිරීම සඳහා බහු පාර්ශ්වික සාකච්ඡා වට සහ හමුදා ප්‍රධානීන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි. කලාපයේ ආපදා සහන කටයුතු හා මානුෂීය මෙහෙයුම් පිළිබඳ බහු පාර්ශ්වීක සාකච්ඡාවල දි වැඩි අවධානයක් යොමු විය.

ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සිදු කරනු ලබන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක් වූ හමුදා ප්‍රධානීන් ඒ සඳහා සිය උපරිම සහය පල කරන ලදී.

එමෙන්ම ශ්‍රී ලංකා රජයේ පූර්ණ අධිකාරිය යටතේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ හිඟතාවක් මත එම කර්තව්‍ය පමාවිය හැකි බැවින් ඒ සඳහා සහයවීමේ අවශ්‍යතාව ද ශ්‍රී ලංකා හමුදාපති විසින් පෙන්වා දෙන ලදී.

සමුළුවේ තේමාව අතර විශේෂත්වය වූයේ සහභාගී වු හමුදා ප්‍රධානීන් එල්. ටී. ටී. ඊ යට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව විසින් මෙහෙය වන ලද සාර්ථක මානුෂීය මෙහෙයුම් හා ශ්‍රී ලංකා හමුදාව ඉන් ලද ජයග්‍රහණ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමය.

ඔවුන් ශ්‍ර‍්‍රී ලංකා හමුදාව හා එල්ටීටීඊ ය අතර පැවැති යුද්ධය පිළිබඳ සිද්ධි අධ්‍යනයන් සඳහා අනාගත යුද විශේෂඥයන් ශ්‍රී ලංකාවට යොමු කිරීම පිළිබඳවද අවධානය යොමු කරනා බව දැන්වීය.

මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ජගත් ජයසූරිය විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධි මෙහෙයුම් සහ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදාව ලබාගත් ජයග්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හමුදා ප්‍රධානීන් වෙත ඉදිරිපත් කරන ලදී.

මේ සවිස්තරාත්මක සාකච්ඡාවලදී හමුදාවේ ජයග්‍රහණයන් පිටුපස තිබූ ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිතුමන් සහ ආරක්ෂක ලේකම්ගේ දේශපාලන නායකත්වයත් මානුෂීය මෙහෙයුම්වල සාර්ථකත්වයට සහ සිවිල් ජනතාව බේරා ගැනීමට මනා පිටුබලයක් වු අයුරු පැහැදිලි කරන ලදී.

තවද සරණාගතයන් නැවත පදිංචි කිරීම හා විවිධ සුබ සාධන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා හමුදාව ඉටු කරන කාර්යභාරය හමුදා නියෝජිතයන් වෙත පැහැදිලි කරන ලදී. මෙහි දී ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ජගත් ජයසූරිය අමෙරිකා එක්සත් ජනපද ශාන්තිකර හමුදා අණදෙන නිලධාරි සමග ද ද්විපාර්ශවික සාකච්ඡාවක් ද පැවැත්වීය.