ජයප්‍රකාශන් තිස්සනායගම් වසර විස්සක් හිර ගෙට ත්‍රස්තවාදයට මුදල් එකතු කිරීම ඇතුළු අධි චෝදනා 3ක්

ජාති වාදී හැඟීම් අවුස්සා රජය අපකීර්තියට පත්වන ආකාරයේ ලේඛණ මුද්‍රණය කර බෙදා හැරීම හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් රැස් කිරීම යන අධි චෝදනා තුනකට වරදකරු වූ මාධ්‍යවේදී ජයප්‍රකාශන් සිත්තම්පලම් තිස්සනායගම් නමැති විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු දීපාල විජේසුන්දර මහත්මිය ඊයේ (31) නියම කළාය.

විත්තිකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා 3 ක් ඉදිරිපත් කර තිබිණි.

විත්තිකරු සත්‍ය සිද්ධීන් විකෘති කරමින් ලිපි ලියා ඇති බව පෙනී යන්නේ යැයිද පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති සියලුම අධි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම සියලුම අධිචෝදනාවලට විත්තිකරු වරදකරු කරන බව විනිසුරුවරිය ගේ තීන්දුව සඳහන් කරයි.

හමුදාව මානුෂීය මෙහෙයුම දියත් කැර උතුරු නැඟෙනහිර ත්‍රස්තවාදී පාලනයෙන් මුදා ගනිමින් සිටින විටදී විත්තිකරු අසත්‍ය ලිපි ලියා ඇති බව පැමිණිල්ල මෙහෙය වූ රජයේ නීතිඥ සුදර්ශන සිල්වා මහතා අධිකරණයට පැවැසීය.

එම ප්‍රදේශවල සිදුවන මිනීමැරීම්වලට වගකිව යුත්තේ රජයේ හමුදාව බවත් ඔවුන් මෙහෙයුම් සිදු කරන්නේ ප්‍රදේශයේ ජනතාවට ආහාර, ඖෂධ සහ ඉන්්ධන ලබා නොදී ඔවුන් සාගින්නේ තැබීමෙන් ඔවුන් එම ප්‍රදේශවලින් මුදා හැරීමේ යුද උපක්‍රමයක් අනුගමනය කරන බවත් මේ ලිපිවල සඳහන්්ව තිබූ බවද රජයේ නීතිඥවරයා පැවැසීය.

මේ ලිපි කියවන සාධාරණ අයුරකින් සිතන ඕනෑම පුද්ගලයෙකුට, ජනවාර්ගික අසමඟියක් ඇති කැර සාහසික ක්‍රියා ඇති කිරීමේ අරමුණින් මේ ලිපි ලියා ඇති බව පෙනී යන බවද ඒ මහතා කීය. ඉදිරිපත් වී ඇති සාක්කි අනුව යුක්තිය සහ සාධාරණත්වය ඉටුවන තීන්දුවක් ලබා දෙන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය අමතමින් විත්තිකරු තවදුරටත් කියා සිටින්නේ ඔහු නිවැරිදිකරු බව පැවැසීය.

සාධාරණය වෙනුවෙන්් පෙනී සිටීම නිසා රැකියාව අහිමි කැර ගත්් පුද්ගලයෙකු වශයෙන් විත්තිකරු හඳුන්වා දුන් සිල්වා මහතා අසූව දශකයේ දකුණේ සිංහල තරුණයන් ගැන කතා කළ එකම දෙමළ මාධ්‍යවේදියා විත්තිකරු බවද සඳහන් කෙළේය.

විත්තිකරුගේ හිතේ් ජාතිභේදයක් නොමැති බවත් අකටයුතුකම් පිළිබඳව ජාත්‍යන්තරයට පවා ගෙන ගිය මාධ්‍යවේදියෙක් බවද සඳහන් කෙළේය. විත්තිකරු ප්‍රථම වතාවට දෙමළ ජාතින් වෙනුවෙන්් කථා කෙළේ අතුරුදහන් වූවන්ගේ් මව්පිය සංගමය වෙනුවෙන් බව පැවසූ නීතිඥවරයා පෙර වැරදි නොමැති විත්තිකරු වෙනුවෙන්් දඬුවම් නියම කිරීමේදී සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.

පිටු 41 කින් යුත් සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය විත්තිකරු අසාධාරණය වෙනුවෙන් කතා කළ අයෙක් ලෙස විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළ බවත් එය එසේ නම් වාකරේ ප්‍රදේශයේ සිදු වූ දෙයට වඩා වෙනස් දෙයක් ඕනෑකමින්් සත්‍ය විකෘති කර ලියා පළ කැර ඇත්තේ මන්ද යැයි ප්‍රශ්න කරයි.

විත්තියේ සාක්කිවලින්් පැමිණිල්ලේ සාක්කි කෙරෙහි සැකයක් මතු කිරීමට නොහැකි වී ඇතැයිද එවන් සාක්කි පිළිගත නොහැකි බවද තීන්දුව සඳහන් කරයි.

විත්තිකරු අධිචෝදනා තුනට වරදකරු කළ විනිසුරුවරිය පළමු සහ දෙවන අධිචෝදනාවන්ට බරපතළ වැඩ සහිත අවුරුදු පහ බැගින්ද තුන්වැනි අධිචෝදනාවට බරපතළ වැඩ සහිත අවුරුදු දහයක සිර දඬුවමක්්ද විත්තිකරුට නියම කළාය.

2006 ජුනි 01 සහ 2007 ජුනි 01 අතරදී කොළඹ දී ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයේ සහ රජය අපකීර්තියට පත්්වන ලේඛණයක් මුද්‍රණය කිරීමට සහ බෙදා හැරීමට කුමන්ත්‍රණය කිරීම, එය මුද්‍රණය කැර බෙදා හැරීම සහ ත්‍රස්තවාදය සඳහා මුදල් එකතු කිරීම, ගෙවීම සහ රාජ්‍ය නොවන සංවිධාන වලින්් සඟරාවට මුදල් එකතු කිරීම යන අධිචෝදනා විත්තිකරුට ඉදිරිපත් වී තිබූ අධිචෝදනා වේ.