වාස්ගේ බිරිය-පුතා ඇතුළු සැකකරුවෝ යළි රිමාන්ඩ් ලෝක නායකයන්ගෙන් ජනපතිට සුබ පැතුම් මඩිහේ නා හිමි පිළිරුව වැඩම කරවීම අද මහනුවර නගර සභා සේවකය

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව පිලිපීනයේ ජනපතිනි ග්ලෝරියා අරෝයා මහත්මිය හා පාකිස්තානයේ අගමැති යුසුප් රාසා ගිලානි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (1) සුබපැතුම් පිරිනැමූහ.

ලිබියාවේ 40 වැනි ජාතික නිදහස් සැමරුම් උත්සවයට විශේෂ අමුත්තෙක් ලෙස ට්‍රිපොලි නුවරට ගොස් සිටින ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී සිය සුබ පැතුම් සමඟ අදහස් හුවමාරු කරගත් පිලිපීන හා පකිස්තාන රාජ්‍ය නායකයින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීම සඳහා ලෝක ප්‍රජාවගේ සහය ලබා ගැනීම පිළිබඳවද අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රථමයෙන් ජනාධිපති රාජපක්ෂ මහතා පිලිපීන ජනාධිපතිනි ග්ලෝරියා අරෝයා මහත්මිය සමඟ ඊයේ (1) සවස 2.00 ට පැවැති සාකච්ඡාවේ දී දකුණු ආසියානු හා අග්නි දිග ආසියානු කලාපය ත්‍රස්තවාදයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් ඇති කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව පිළිබඳව අවධානයට ලක් කෙරිනි.

එමෙන්ම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින්ට ම තම සුභාශිංසනය පළකිරීමට ද පිලිපීන ජනාධිපතිවරිය මෙය අවස්ථාවක් කරගත් අතර ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි යන මතවාදය වෙනස් කළ ලොව ආදර්ශමත්ම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවද සඳහන් කළාය.

එමෙන්ම මේ වන විට සාමකාමී වාතාවරණයක් ඇති වී ඇති ශ්‍රී ලංකාව තුළ පිලිපීන ව්‍යාපාරික ප්‍රජාවට ව්‍යාපාරික අවස්ථා ලබාගැනීමටත් දෙරටේ සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරීමේ අවශ්‍යතාවත් රාජ්‍ය නායකයෝ අතර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර වූහ.

අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පකිස්තානු අගමැති යුසුප් රාසා ගිලානි මහතා හමු වී සාකච්ඡා කළේ ය. එහි දී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් පුද කළ පාකිස්තානු අගමැතිවරයා ත්‍රස්තවාදයෙන් මුදා ගත් ප්‍රදේශ වල නැවත පදිංචි කිරීමේ කටයුතු හා ප්‍රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරය තම රටට ද ආදර්ශයක් ව ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තානු අගමැති ගිලානි මහතා අතර පැවැති ද්විපාර්ශවිය සාකච්ඡාවේ දී රටවල් දෙක අතර ජාත්‍යන්තර සබඳතා තරකර ගැනීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වල වැදගත් කම මෙහි දී අවධානයට ලක් වූ අතර ඒ තුළින් ඇති වන රාජ්‍ය තාන්ත්‍රික මිත්‍ර සබඳතා රට රටවල් අතර වෙළෙඳ ආර්ථික හා සමාජයීය සබඳතා ශක්තිමත් කිරීමට ඉවහල් වන බවද මෙහි දී පාකිස්තාන අගමැතිවරයා අවධාරණය කෙළේ ය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හුවමාරු වැඩපිළිවෙළක් දෙරට අතර ක්‍රියාත්මක කිරිමට ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඊ නැණසල ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන පාකිස්තානු රජය විසින් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳවද මෙහි දී දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක් විය.

එරට වේලාවෙන් ඊයේ (1) සවස ලිබියානු නිදහස් සටනේ 40 වන සමරුව එරට ශ්‍රේෂ්ඨ නායක කර්නල් මුවම්මර් ගඩාපි මහතාගේ ආරාධනයකට අනුව ලෝක නායකයන් 40 දෙනකු පමණ සහභාගි වීමට නියමිතය. ආසියානු කලාපය නියෝජනය කරමින් මේ සඳහා ආරාධනා ලැබ ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නායකයන් තිදෙනකු පමණක් වීම විශේෂත්වයකි.