ශ්‍රී ලංකා ජනපති හා විදේශ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවීය සාකච්ඡා


ලිබියාවේ ට්‍රිපෝලි නුවර පැවැත්වෙන එරට නිදහස් අරගලයේ 40 වන සැමරුම් උත්සව මාලාවට සහභාගිවීම සඳහා එහි ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු දූත පිරිස එරටට පැමිණ සි‍ටින විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කර ඇත.
මෙහි පළමු පියවර වශයෙන් ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට පමණ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා පිලිපීන ජනාධිපතිනී Gloria Aroya මැතිණිය අතර ද්විපාර්ශවීය සාකච්ඡා ට්‍රිපෝලි නගරයේදී ආරම්භ විය.

මෙහිදී ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීම සඳහා ලෝක ප්‍රජාවගේ සහය ලබා ගැනීම පිළිබඳව දෙරටේ රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූ අතර, දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු කලාපය ත්‍රස්තවාදයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සුදුසු පරිසරයක් ඇති කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද දෙර‍ටේ රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක් වූ කරුණු අතර විය.

එසේම ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු සමස්ථ ශ්‍රී ලාංකිකයන්ටම තම සුභාශිංසනය පළකිරීමට ද පිලිපීන ජනාධිපතිවරිය මෙය අවස්ථාවක් කර ගත් අතර ‘ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි’ යන මතවාදය වෙනස් කළ ලොව ආදර්ශමත් ම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා බව ද සඳහන් කළාය.

එමෙන්ම මේ වන විට සාමකාමී වාතාවරණයක් ඇති වී ඇති ශ්‍රී ලංකාව තුළ පිලිපීන ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත් දෙරටේ සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය උදෙසා දෙරට අතර සෘජු ගුවන් ගමන් ඇති කිරී‍මේ අවශ්‍යතාවත් රාජ්‍ය නායකයෝ අතර සාකච්ඡාවට බඳුන් වූහ.