ජනපතිගේ ඉල්ලීමට ප්‍රතිචාර අනවසරයෙන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ළඟදීම වීසා

වීසා නොමැතිව ඉතාලියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසකට එළැඹෙන සැප්තැම්බර් මාසය අවසාන වීමට පෙර වීසා ලබා දීමේ වැඩපිළිවෙළක් ඉතාලි රජය ආරම්භ කොට ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ප්‍රථම ඉතාලියේ කළ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මේ අවස්ථාව ශ්‍රී ලාංනිකයින්ට හිමි වී තිබේ. මීට පෙර ශ්‍රී ලාංකිකයින්ට නීතියානුකූල වීසා බලපත්‍ර ලබා දී තිබුණේ වසර 2002 දීය. වසර 2002 සිට මේ දක්වා ඉතාලියේ අනවසරයෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ 40,000 ක් දෙනා මෙවර ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට පෙළගස්වන බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයෝ පොරොන්දු වූහ.

ඉතාලියේ මිලානෝ සහ රෝමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවල ප්‍රබලයෝ ඊයේ (30) උදේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී මේ ප්‍රතිඥාව ලබා දුන්හ.

කොටි ත්‍රස්තවාදීන් විසින් රට බෙදා වෙන් කිරීමේ අරමුණින් වසර තිහක් තිස්සේ සිදුකළ බිහිසුණු විනාශකාරී යුද්ධය සාර්ථකව නිමා කළ ජනාධිපතිතුමාට සිය කෘතඥතාවය පළ කිරීමට ද මේ පිරිස මෙහි දී අමතක නොකළහ.

මිලානෝ නුවර සිට රෝම නුවර දක්වා කිලෝමීටර් 800 ක් දුරගෙවා වීසා නොමැති ශ්‍රී ලාංකිකයෝ රැගෙන විත් ඔවුන්ට අවශ්‍ය නිසි අවසරපත් ලබා දීමට තමන් විසින් විශාල කැපවීමකින් ක්‍රියා කරන බව ජනාධිපතිවරයා හමු වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිලානෝ ශාඛාවේ භාණ්ඩාගාරික ලොයිඩ් ගුණසේකර මහතා කීය.

විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම , ඉතාලි තානාපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහත්වරු මේ වැඩපිළිවෙළ සාර්ථක කැරැ ගැනීමට විශාල වැඩකොටසක් කළ බව සිහිපත් කළ ගුණසේකර මහතා ඇමැති මෛත්‍රීපාල සිරිසේන , ඩලස් අලහප්පෙරුම , දයාශ්‍රීත තිසේරා , සරත් කුමාර ගුණරත්න , ආචාර්ය මර්වින් සිල්වා , සහ පළාත් සභා මන්ත්‍රී ;මරිල් පෙරේරා මහත්වරු තම සංවිධානයේ කටයුතුවලට දැඩි කැපවීමකින් සුහදශීලිව කටයුතු කළ බවද සඳහන් කෙළේ ය.

මීට අමතරව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ අපි වෙනුවෙන් අපි අරමුදලට වැඩිම මුදලක් පිරිනැමූ පිරිස ලෙස මෙහිදී ජනාධිපතිතුමාගේ් ප්‍රසංසාවට ලක් වූහ.

ජනාධිපතිවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිලානෝ ශාඛාවේ ලේකම් අශෝක හෙට්ටිආරච්චි , රෝම ශාඛාවේ සභාපති කුමාරසිංහ ගමගේ සහ රෝම ශාඛාවේ භාණ්ඩාගාරික මිත්‍රානන්ද රත්නායක යන මහත්වරු සහභාගී වූහ.