නිපුණ රාමනායකට සිසුවාට පහරදීම පොලිස් නිලධාරීන් 11 දෙනා ලබන 31දා තෙක් රිමාන්ඩ්

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය නිපුණ රාමනායක සිසුවා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුබද්ධ පොලිස් නිලධාරින් 11 දෙනා ලබන 31 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල අතිරේක දිසාවිනිසුරු මහනිල් ප්‍රසන්ත ද සිල්වා මහතා ඊයේ (17) නියෝග කෙළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා මේ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳව ඊළඟ දිනයේ දී දැනුම් දෙන ලෙස අධිකරණය තවදුරටත් නියෝග කෙළේය.

පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන අංශය මගින් මේ සැකකරුවන් ඊයේ (17) අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවන් සියලු දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියම කළ විනිසුරුවරයා පහරකෑමට ලක් වූ සිසුවාගේ හිස මත නැගුණු බව කියන කාන්තාව පොලිස් අධිකාරිවරයාගේ බිරිඳ දැයි හඳුනා ගැනීම සඳහා විමර්ශන කරන ලෙසත් නියම කෙළේය.

සැකකරුවකු ලෙස නම් කර ඇති පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයා වන රවිදු වාස් ගුණවර්ධන නමැති අය දැනට දකුණු කොළඹ මහා රෝහලේ ප්‍රතිකාර ලබන බවට ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ දිසා විනිසුරුවරයා ඒ පිළිබඳ රෝහලට ගොස් කරුණු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

රිමාන්ඩ් භාරයට පත් කළ පොලිස් නිලධාරීන් 11 දෙනා අතර උප පොලිස් පරීක්ෂකවරු 3 ක්ද, කොස්තාපල්වරු 7 ක්ද, පොලිස් රියදුරකු ද වේ. පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය වෙත කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ පුතා රවිදු වාස් ගුණවර්ධන නමැති 12 වැනි සැකකරු පොලිස් අධීක්ෂණය යටතේ දකුණු කොළඹ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීල් හෙට්ටිආරච්චි මහතා සමඟ කරුණු දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් මූලස්ථානයට මේ පැමිණිල්ල ලද වහාම පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නියමය මත විමර්ශන ආරම්භ කළ බව කීය. සිද්ධියට අදාළව සාක්කිකරුවන් හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකාර පොලිස් නිලධාරීන් සිද්ධිය වූ අවස්ථාවේ සිවිල් ඇඳුමින් පැමිණ ඇති බව කීය.

සැකකාර පොලිස් නිලධාරීන් නිපුණ රාමනායක සිසුවා පැහැර ගෙන දෑස් බැඳ ජීප් රථයක දමාගෙන රැගෙන ගොස් ඇති බවත් එක් සැකකරුවෙක් ඔහුගේ රිවෝල්වරයෙත් පැහැර ගත් සිසුවාට පහර දී ඇති බවත් එම අවස්ථාවේදී ජීප් රථයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ පුත් 12 වැනි සැකකාර රවිදු ඔහුගේ නිවසට දුරකතනයෙන් සිය මවට කතා කර “අම්මා දොර ඇර තබන්න මම ඔයාට තෑග්ගක් අරගෙන එනවා යැයි” පවසා ඇති බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිවසට රැගෙන ගිය නිපුණ රාමනායක සිසුවාට එම සැකකරුගේ මවද පහර දී ඇති බව කීය.

පසුව පහරකෑමට ලක් ව තුවාල වූ සිසුවාට වෙනත් පිරිසක් සිද්ධාලේප හා අයිස් තබා ප්‍රතිකාර කර ඇති බවත් අනතුරුව ඔහු රෝහල වෙත රැගෙන යමින් සිටියදී බොරැල්ල කාසල් වීදියේ මාර්ග සංඥා විදුලි පහන් පසුකරන විට තමන් සිිටින ජීප් රථයේ ඉදිරිපස අසුනේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා අසුන් ගෙන සිටිනු මෙම සිසුවා දැක තිබෙන බව කී නියෝජ්‍ය පොලිස්පති සේනානායක මහතා පසුව තුවාල ලත් නිපුණ රාමනායක සිසුවා කොළඹ අපරාධ කොට්ඨාශයේ කාර්යාලයට රැගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව කීය.

එහෙත් තුවාල ලත් සිසුවා එම ප්‍රකාශයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එසේ ප්‍රතික්ෂේප කර ඇත්තේ එම ප්‍රකාශය ඔහු කළ එකක් නොවන නිසා බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා සිසුවා පැහැර ගෙන ගොස් ඇත්තේ දහවල් 12.45 ට වුවත් ඔහු රැගෙන පොලිස් නිලධාරීන් කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ඇත්තේ දහවල් 1.00 ට බවත් මේ පැහැරගෙන යාමට හා පහරදීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ වී ඇති බවත් කීය.

සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතා වහාම පොලිස් මූලස්ථානයට පොලිස්පතිවරයා විසින් මාරු කරන ලද බව නියෝජ්‍ය පොලිස්පති සේනානායක මහතා ප්‍රකාශය කළ විට ඔහුට මාරුවක් පමණද ලැබුණේ වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිදැයි දිසා විනිසුරු සිල්වා මහතා ප්‍රශ්න කෙළේය.

පොලිසියට ලැබෙන සාක්කි මත විමර්ශන පවත්වන බව ඊට පිළිතුරු ලෙස කී සේනානායක මහතා 80,000 නිලධාරීන් පිරිසක් සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ එක පුද්ගලයකු කරන වරදක් නිසා මුළු පොලිසියට දොස් කීම සුදුසු නැති බව කීය.

මෙහිදී විනිසුරුවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ පුතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇතත් ඔහු ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ දකුණ මහ රෝහලට ඇතුළත් කර ඇති බව කීය. ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් කෙටි කලකින් පැමිණිල්ල කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

පහරකෑමට ලක්වූ සිසුවාගේ දෙමාපියන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ හේමපාල ඒකනායක මහතා පෙනී සිටියේය. පැමිණිල්ල ලබන 31 වැනි දින යළි කැඳවන ලෙසත් එදිනට විමර්ශනයේ ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු සිල්වා මහතා පොලිසියට නියම කෙළේය.