ජැක්සන්ගේ අවසන් සති කීපය දැක්වෙන චිත්‍රපටයක් ලොව පුරා ඔක්: 28 දා සිට

”සංදර්ශන – ආගමන සංචාරයක්” සඳහා පුහුණු වෙමින් මයිකල් ජැක්සන් සිය අවසන් සති කීපය ගත කළ අයුරු දැක්වෙන චිත්‍රපටයක් ඔක්තෝබර් 28 දා සිට දෙසතියක කාලයක් ලොව පුරා ප්‍රදර්ශනය කැරෙන බව සෝනි පික්චර්ස් ආයතනය ප්‍රකාශ කැර තිබේ.

ජැක්සන්ගේ ජනපි‍්‍රය ගීයකින් උපුටා ගැනුනු පද පෙළක් වන “දිස් ඊස් ඉට්” නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටයෙන් මින් පෙර කිසි දිනක දක්නට නොලැබුණු ආකාරයෙන් ජැක්සන් අව්‍යාජවම දැකිය හැකි බව ප්‍රකාශ වී ඇත.

මෙම අසාමාන්‍ය චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමට මාසයකට කලින් සැප්තැම්බර් 27 දා සිට ඊට අදාළ ප්‍රවේශපත් අලෙවි කරනු ඇති බව සඳහන්ව තිබේ.

ඉකුත් ජූලි 13 දා ලන්ඩනයෙන් ඇරඹීමට නියමිත වූ සංදර්ශන මාලාවක් සඳහා අප්‍රේල් හා ජූනි මාසවල ඔහු පුහුණුවන අයුරු දැක්වෙන දුලබ ගණයේ චිත්‍රපටයක් ලෙස “දිස් ඊස් ඉට්” හැඳින්වී තිබේ.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා කෙනී ඔටේගාය. මෙය මයිකල් ජැක්සන් ලෝලීන්ට ඔහුගෙන් පිරිනැමෙන ත්‍යාගයක් ලෙස ඔහු හඳුන්වයි.