සන්ධානය හෙට දකුණට නම් දෙයි

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙට (27) නාමයෝජනා බාර දෙයි.

දකුණු පළාත් සභාවට අයත් ගාල්ල, මාතර හම්බන්තොට දිස්ත්‍රික් තුනේ තේරීම් භාර නිලධාරීවන් වෙත එක්සත් නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා භාරදීමේ කටයුතු හෙට දිනයේ සිදු කෙරෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් එස්. එච්. ආරියසේන මහතා පැවැසීය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එ. ජ. නි. සන්ධානයේ සාමාජික පක්ෂවලින් ඉදිරිපත් වූ ජනපි‍්‍රය අපේක්ෂකයන් දකුණු පළාත් සභාව සඳහා මෙවර ඉදිරිපත් කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා මැතිවරන කටයුතු සඳහා මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම්වරයා පැවැසීය.

මේ අතර එළඹෙන දකුණු පළාත් මැතිවරණය සඳහා හම්බන්තොට ගාල්ල, මාතර දිස්ත්‍රික්ක තුනටම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයට හිටපු පළාත් සභා මන්ත්‍රී අතුල පි‍්‍රයන්ත බෙල්ලන මහතා ද මාතර දිස්ත්‍රික්කය සඳහා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් වීරවංශ මහතාද හම්බන්තොට දිස්ත්‍රික්කයට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දිස්ත්‍රික් සංවිධායකවරයකු වූ එච්. බී. ධර්මසේන කොඩිතුවක්කු මහතාද තරග වදිති.