දේශපාලන පක්ෂවල වුවමනාවට ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නෑ තුනෙන් දෙකේ ජන වරමකින් රටේ යහපත් වෙනසක් කරන්න ජනපති සූදානම්

එක් එක් දේශපාලන පක්ෂවලට අවශ්‍ය අයුරින් මැතිවරණ ක්‍රමය හෝ ව්‍යවස්ථාව හෝ කොටස් වශයෙන් සංශෝධනය කිරීමට රජය සූදානම් නැතැයි ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.

ජනතාව ඉදිරි මැතිවරණයකදී ලබා දෙන තුනෙන් දෙකේ ජනවරම අනුව රටට යහපතක් වන අයුරින් සියල්ල එකවර සංශෝධනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සූදානම් බව ඇමැතිවරයා පවසයි.

දේශපාලන විසැඳුමක් සඳහා ජාතික එකඟතාවකට එළැඹීමට ජනාධිපතිවරයා අදහස් කරන බව පවසන ඇමැතිවරයා ඉදිරි ජනාධිපතිවරණයේ දී එය ජනතාවට ඉදිරිපත් කොට ඒ අනුව විසැඳුම් සොයන බවත් සඳහන් කෙළේ ය. ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවක දීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා ඇතත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බව සඳහන් කරන ඇමැතිවරයා එදා රජයට සහය පළ කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ දී රජය අස්ථාවර කිරීමට හිටි හැටියේ රජයෙන් ඉවත්ව ගිය බවත් පැවැසීය.

පසුගිය මැතිවරණ ප්‍රතිඵල දෙස බැලීමේ දී ජවිපෙට ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ තවත් පක්ෂයකට සහය දීමට හෝ තරම් ඡන්ද පදනමක් නොමැති බැවින් මෙවැනි ඉල්ලීම් කරන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේ ය.

මැතිවරණ කොමිසම පත් කැර දකුණු පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා කැර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ මැතිවරණ කොමිසම පත්කැර හෝ නීති රීති වෙනස් කැර හෝ ඡන්ද ජය ගත නොහැකි බවත් ඒ සඳහා ජනතාව අතරට ගොස් ජනතා කැමැත්ත දිනා ගත යුතු බවත් ය.