එල්ටීටීඊ සංවිධානයේ රැඳවියන් පුනරුත්ථාපනයට කෝටි 200ක් ජාත්‍යන්තර අවතැන්වුවන්ගේ සංවිධානය සමඟ ගිවිසුමක්

එල්.ටී.ටී.ඊ සංවිධානය අතහැර රජයට භාර වූ සහ ආරක්‍ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් පිරිස පුනරුත්ථාපනයට ජාත්‍යන්තර අවතැන්වුවන්ගේ සංවිධානය (ධ්ර්‍ණර්) හරහා රුපියල් කෝටි 150ත් 200ත් අතර මුදලක් ලබා ගැනීමට රජය සූදානම් වේ.

ඒ අනුව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ජාත්‍යන්තර අවතැන්වුවන් ගේ සංවිධානය අතර ගිවිසුම මේ සතියේ දී කොළඹ දී අස්සන් තැබේ.

කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කළ පසු, උතුරු - නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට රජය ගන්නා යහපත් උත්සාහයට විශාල රුකුලක් මෙමගින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

මෙම ගිවිසුමට අනුව ඉතා ඉක්මනින් මෙරටට ලබා ගැනීමට ඉලක්ක කර ඇති මුදල ප්‍රදානය කිරීමට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි බටහිර රටවල් ද, ජපානය, ඉන්දියාව වැනි ආසියානු රටවල් ද මූලික එකඟතාවය පළකොට ඇතැයි අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය කියා සිටියි.

එල්.ටී.ටී.ඊ සංවිධානය අතහැර හා ආරක්‍ෂක හමුදාවන්ට භාරවූ පිරිස පුනරුත්ථාපනය කිරීම් යටතේ ඔවුන්ට පරිගණක හා තොරතුරු තාක්‍ෂණ දැනුම ලබාදීම, වඩු, මේසන්, ඇඳුම් මැසීම, විද්‍යුත් පාඨමාලා හැදෑරීමට ඉඩ ලබාදීම සිදු කිරීමට නියමිත ය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ පැවැති පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ කටයුතු ඉකුත් දා සිට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ විෂය පථයට විශේෂ ගැසට් නිවේදනයකින් ලබා දී තිබේ. උතුරු - නැඟෙනහිර පළාතේ මානව සම්පත නිසි ලෙස රටේ ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීම මේ මුදල් යොදාගෙන සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.