පොලිසිය කෙරෙහි සමාජයේ පිළිකුලක් ඇති වී තිබෙනවා නීතිඥ සංගමය කියයි


අඟුලානේ තරුණයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම හා මාලඹේ සිසුවකුට පහරදීමේ සාහසික කෲර ක්‍රියාවන්, පොලිසිය කෙරෙහි සමාජය තුළ පිළිකුලක් ඇතිකිරීමට හේතුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම සංගමයේ සභාපති ඩබ්ලිව්. දයාරත්න නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

අඟුලාන පොලිස් ස්ථානයට අයත් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකු මරා දැමීමත්, ඉන් ඉහත සතියේ මාලබේ පරිගණක තාක්ෂණ ආයතනයේ සිසුවකුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද සාහසික ප්‍රහාරයත් ඇතුළු නිරායුධ සිවිල් ජනතාවට එරෙහි ව දියත් වූ පොලිසියේ කෲරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කම්පනය සහ විශ්මය පළ කර සිටී.

මේ සාහසික කෲර ක්‍රියාවන් දැඩි පිළිකුලෙන් හෙළා දකින අතරම මේ සාහසික ක්‍රියාවන් ජනතාවගේ ආරක්ෂාව සඳහා ව්‍යවස්ථාමය වගකීමක් පවරා දෙනු ලැබ ඇති නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රාථමික ආයතනය කෙරෙහි සමාජය තුළ පිළිකුලක් ඇති කිරීමට හේතු වී ඇති බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

වැනි සාහසික සහ කෲර ක්‍රියාවන් නැවත ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේවාට වගකිවයුත්තන් සුදුසු අධිකරණයක් වෙත ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමෙන් නීතියේ නිසි ක්‍රියාදාමයකට අනුගතව ක්‍රියාකරන බවට සනාථ වන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටී.