මැතිව්ස් වෙනුවට කපුගෙදර ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ගැටුම අද ඇරැඹේ

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී අද ඇරැඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාරගේ කණ්ඩායමට ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත්තේ ටෙස්ට් තරගමාලාවේ ජයග්‍රහණය පමණක් නොවේ.

2003 වසරේදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිල වශයෙන් හඳුන්වා දීමෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාව අංක 1 ස්ථානයෙන් පහළට වැටිණි.

ඒ ඔවුන් එංගලන්තයට එරෙහි ‘අළු බඳුන’ ටෙස්ට් තරග මාලාව පරාජය වූ බැවිණි. මේ සමඟ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය සඳහා තරගය ආරම්භ වී තිබේ.

ලකුණු 122 ක් ලබාගෙන දකුණු අප්‍රිකාව දැන් පෙරමුණ ගෙන සිටින අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව ලකුණු 119 බැගින් ලබා ගෙන දෙවැනි ස්ථානයේ සමසමව පසුවෙති.

අද ඇරැඹෙන තරගය ජය ගෙන ශ්‍රී ලංකාව තරගමාලාව 2 – 0 කින් ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ තනි අයිතිය ශ්‍රී ලංකාව සතු වනු ඇත.

අද ඇරැඹෙන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවහොත් හෝ තරගය ජය පැරදුමින් තොරව අවසන් වුවහොත් ඉන්දියාවට දෙවැනි ස්ථානය හිමිවනු ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයට පෙර නවසීලන්තය හත්වැනි ස්ථානයේ පසුවිය.

ශ්‍රේණිගත කිරීම්වලින් කණ්ඩායමක ස්ථිරභාවය පිළිබිඹු වන බැවින් එම ශ්‍රේණිගත කිරීම් ඉතා වැදගත් බව සංගක්කාර පවසයි.

ස්ථිර දක්‍ෂතාවයකින් ක්‍රීඩා කරමින් තරග ජය ගැනීම ප්‍රධාන කරුණක් බවත් එය ඉෂ්ට කර ගැනීමට අපට හැකි වී තිබෙන බවත් ඔහු කියයි.

නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගය ජය ගැනීම නිසා දෙවැනි තරගයේ ජයද ස්ථිර යැයි අධි විශ්වාසයෙන් කටයුතු නොකරන ලෙස එම තරගයේදී ලකුණු 114 ක් ලබා ගත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන තම කණඩායමට අනතුරු අඟවයි. ”ඔවුන් ප්‍රබල ප්‍රතිවාදීන්. ඔවුන් තරගය බැරෑරුම් ලෙස සලකා ක්‍රීඩා කරනවා” ජයවර්ධන කියා සිටියේය.

”අපේ තෘප්තියෙන් අප වල්මත් විය යුතු නැහැ. පසුගිය වසර දෙක තුනේදී අප හොඳින් කල දේවල් ඒ විදිහටම කර ගෙන යා යුතුයි. අපි පසුගිය වකවානුවේ නියම ලෙසින් ක්‍රිකට් ක්‍රීඩා කර තියෙනවා.

අප එය දිගටම කරගන යා යුතුයි. කඩුලු සබඳතා ගොඩනගා ගැනීම, පීඩනය ඇති කිරීම මෙන්ම ක්‍රීඩාවේ උදය, දහවල හා සවස තරග වාර අප ජයගත යුතුයි. ඒ ගැන අපි අපේ අවධානය යොමු කළොත් ප්‍රතිඵල අපේ පැත්තට ඒවි.”

ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ මස්පිඩු ආබාධයකට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට චාමර කපුගෙදර අද ඇරැඹෙන තරගයේ ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

ඊට අමතරව යම් වෙනසක් සිදුවන්නේ නම් එය අජන්ත මෙන්ඩිස් හා රංගන හේරත් යන දඟපන්දු යවන්නන් අතර සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැක.

ගාල්ලේ තරගයේදී උදරාබාධ වැළඳුණු තම ක්‍රීඩකයන් සියලුදෙනා දැන් හොඳින් සුවය ලබා ඇතැයිද අද ඇරැඹෙන තරගය සඳහා සම්පූර්ණයෙන් ශක්තිමත් කණ්ඩායමක් යොදවන බවත් නවසීලන්ත කණ්ඩායමේ කළමනාකරු ඩේව් කුරී පැවැසීය.

නායක ඩැනියල් වෙටෝරි හට ටෙස්ට් කඩුලු 300 සම්පූර්ණ කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු 2 ක් පමණි. ඔහු ගාල්ලේ තරගයේදී කඩුලු 5 ක් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දැක් වූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර ලබන වසරේ ශ්‍රී ලංකාවට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබාදී ඇත්තේ ටෙස්ට් තරග තුනක් පමණක් බවත් එය මෙතෙක් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කළ අසාධාරණයක් බවත් ප්‍රකාශ කර සිටියේය.