රට හදන පරපුරේ උරුමයේ සලකුණ ජනපති දෝතින් ශෂීන්ද්‍රටත්


රට හදන පරපුරෙන් ඌවට නායකයෙක්! තේමාව යටතේ ජනතාව පෙළගැස් වූ ක්‍රියාදාමය අවසානයේ ඌව පළාතේ මහ ඇමැති ධූරයට පත්වූ ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතාට ඊයේ (20) උදෑසන ජනාධිපති මහලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් සදා නොමැකෙන සිහිවටනයක් තිළිණ ලෙස ලැබිණි.

ඒ කුරහන් පැහැති කුරහන් සාටකයකි.

වෙල් ඉපනැල්ලේ දුව පැන, ගිය පීදෙන ගොයමේ සුවඳ විදි ගමේ ගොඩේ ගොවියාගේ දහදිය, කඳුළ හඳුනන ඈත ගිරුවායේ හඬ මුළු ලොවට ගෙන ගිය රාජපක්‍ෂ පරපුරේ උරුමය විදහාපාන කුරහන් සාටකය ජනාධිපතිතුමා අතින් ලැබීම ශෂීන්ද්‍ර රාජපක්‍ෂ නව මහ ඇමැතිවරයාගේ දේශපාලන ගමන් මගේ සදානුස්මරණීය සිහිවටනයක් වනු ඇත.

ඌව පළාත් සභාවට මහජන ඡන්දයෙන් තේරීපත්වූ නියෝජිතයන් දිවුරුම්දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති අවස්ථාවේදී සිදුවූ සුවිශේෂම සිද්ධිය එය බව දේශපාලන විචාරකයෝ පවසති.

මහා සංඝරත්නය ප්‍රමුඛ හින්දු, ඉස්ලාම්, කතෝලික යන සර්ව ආගමික නායකයන්ගේ අනුශාසනා හා ශුභාශිංසන මැද උත්සවය ඇරැඹිණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ “බුලත් කොළය” ලකුණින් මොනරාගල හා බදුල්ල දිසා දෙකකට තරග කළ අපේක්ෂකයන් අතුරින් ජයගත් මහජන මන්ත්‍රීවරු මෙහිදී සාමූහිකව දිවුරුම් දුන්හ.

අනතුරුව නව මහ ඇමැතිවරයා ලෙස ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා දිවුරුම් දුන්නේය.

පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ද මේ අවස්ථාවට එක්විය. ආණ්ඩුකාරවරයා සහ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් පිරිස සිය පත්වීම් ලබා ගත්තේ ජනාධිපතිතුමාගේ සුරතිනි.

අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන, සභානායක නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩග්ලස් දේවානන්ද, සුසිල් පේ‍්‍රමජයන්ත, ජා. නි. පෙ. නායක විමල් වීරවංශ, ඇමැති මණ්ඩල සාමාජිකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ආණ්ඩුකාරවරු, පළාත් ප්‍රධාන ඇමැතිවරු, පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයෝ ජනාධිපති ලේකම් ලලිත් සී. වීරතුංග, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ජනාධිපති අතිරේක ලේකම් ගාමිණී සෙනරත් මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ විශාල පිරිසක් මේ උත්සව අවස්ථාවට එක්ව සිටියහ.