පොලිස් අධිකාරී කුරේ ළඟ තිබූ වාහන 15ක් අත්අඩංගුවට

කොටි ත්‍රස්තවාදීන් දකුණේ සිදුකළ අපරාධ සැලැසුම්වලට මහා පරිමාණයෙන් උදව් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ පාවිච්චි කළ වාහන 15 ක් ත්‍රස්ත විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වාහන 15 ට අයත් ලියැකියවිලිවල සත්‍යතාව තහවුරු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී එම ලියකියවිලි පරීක්ෂා කිරීම සිදු කෙරේ. අයිතිය පිළිබඳ මූලික පරීක්ෂණවලට අනුව ඒවා හොරට ලියාපදිංචි කළ ඒවා බව පෙනී යන බව නිලධාරියෙක් පැවසී ය.

ඇතැම් විට ඒවා විදේශ රටකින් තීරු බදු රහිතව හොර රහසේ කෑලි ගෙන්වා එක් කළ වාහන හෝ කොල්ල කෑ වාහන හෝ කොටි ත්‍රස්තවාදීන්ගෙන් ලැබුණ ඒවා හෝ විය හැකි බව පරීක්ෂණ අංශ සැක කරයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත එම වාහන 15 සොයා ගෙන තිබේ. ඒවා විවිධ පුද්ගලයන් විසින් පාවිච්චි කර ඇත්තේ පොලිස් අධිකාරිවරයාගේ භාරකාරත්වය යටතේ ය.

එවැනි වාහන 15ක් හිමිවීමට තරම් ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් කෝටි ගණනක මුදල් ලැබී ඇතැයි සැක කෙරේ.
දකුණේ සිදුවූ කොටි අපරාධ සැලසුම්වලට එම වාහන යොදා ගෙන ඇති බව මේ වනවිටත් මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇත.

මීට අමතරව ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයා සතු සියලු වත්කම් පරීක්ෂණ අංශවල පරීක්ෂාවට ලක් වී තිබේ. ඒ යටතේ ඔහු සහ ඔහුගේ ඥාතීන් සතු දේපොළ, බැංකු ගිණුම් ආදියද පරීක්ෂා කෙරෙමින් පවතී.

ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරීවරයා කොටි ත්‍රස්තවාදීන්ගේ ඉහළම අපරාධ සැලැසුම්වලට සහාය වී තිබේ. වසර හයක පමණ කාලයක් ඔහු කොටි ත්‍රස්තයන් සමඟ සබඳතා පවත්වාගෙන ගොස් ඇත.

එම කාලය තුළ ප්‍රභූ ඝාතන සැලැසුම් ගණනාවකට උදව් දී ඇති අතර ප්‍රධාන වශයෙන් ජනාධිපතිවරයා ඉලක්ක කර ප්‍රහාර සැලැසුම් තුනක් දියත් කර තිබේ. එම ඉලක්කයන් තුනම අසාර්ථක වී ඇත.

මොහුගේ දුරකතනයේ සඳහන් අංකවලට අදාළ පුද්ගලයන්ගෙන්ද ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර තිබේ. එම නිලධාරින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසී ය.