නිපුණට පහරදීම සහ අගුලාන සිද්ධිය: මෙතෙක් කළ පරීක්‍ෂණ පිළිබඳව ජනපති වාර්තාවක් ඉල්ලයි

නිපුණ රාමනායක සිසුවාට පහරදීමේ සහ අගුලාන ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් කළ පරීක්‍ෂණ පිළිබඳ වාර්තාවක් සපයන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා පෙරේදා (18) මේ සම්බන්ධ වාර්තාව ඉල්ලා ඇති බව ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මේ සිද්ධීන් පිළිබඳව අපක්ෂපාතී පරීක්‍ෂණ පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බවත් සඳහන් කෙළේය.

මේ කිසිදු නිලධාරියකුට රජයේ කිසිදු ඇමැතිවරයකු සහය දී නැති බව සඳහන් කරන ඇමැතිවරයා පොලිස් ස්ථාන 415ක නිලධාරීන් 74000ක් සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියකුගේ වරදකට සියලු නිලධාරීන් වගකිව යුතු නැති බවත් පැවැසීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා මේ වන විටත් පොලිස් මූලස්ථානයට මාරු කොට යවා ඇති බව පවසන ඇමැතිවරයා නියෝජ්‍ය පොලිස්පති අනුර සෙනෙවිරත්න මහතා විසින් පවත්වන පරීක්‍ෂණයේ වාර්තාව අනුව ඉදිරි කටයුතු සිදු කෙරෙන බවත් කීවේය.

මන්නාරම බෝම්බ වෑන් රථ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා කියා සිටියේ පරීක්‍ෂණ වෙනත් පැත්තකට යොමු කිරීමට ආණ්ඩුව කිසිදු නිලධාරියකුට ඉඩ නොතබන බවත් එවැනි බලයක් කිසිවකුටත් දී නොමැති බවත්ය.

ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදීය.

නීතිය කාටත් එක සමාන බව පැවැසූ ඇමැතිවරයා, නීතියට ඉහළින් යාමට කිසිවකුටත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.