කාර්මික ක්ෂේත්‍රයේ දියුණුවට විශේෂ අවධානයක් යොමු කරනවා

වෘත්තීය පුහුණු හා කාර්මික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා රජය විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වෘත්තීය පුහුණුවෙන් මෙන්ම තාක්ෂණික දැනුමෙන් පිරිපුන් අනාගත අභියෝග ජයගත හැකි තරුණ පරපුරක් රටට දායාද කිරීම තම අරමුණ බව සඳහන් කෙළේය.

කොළඹ පැවැත්වෙන වෘත්තීය සහ කාර්මික අධ්‍යාපනය පිළිබඳ දකුණු ආසියානු කලාපීය සමුළුවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි විදේශ නියෝජිතයින් ඊයේ (19) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේ තමා කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැතිවරයාව කටයුතු කරයදී වෘත්තීය පුහුණු අධිකාරිය ආරම්භ කිරීමට පියවර ගත්තේ මේ රටේ තරුණ පරපුරේ හෙට දවස සුබදායක කිරීමට බවයි. එමෙන්ම වෘත්තීය පුහුණු හා කාර්මික අධ්‍යාපනය ලබන සිසුන්ට මාසික දීමනාවක් ලබාදෙමින් ඔවුන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවද සිහිපත් කළ ජනාධිපතිවරයා ඉදිරියේ දී ද ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය බැඳි සිටින බවද සඳහන් කෙළේය.

අගෝස්තු 19 වැනිදා සිට 22 දක්වා කොළඹ දී පැවැත්වෙන කාර්මික අධ්‍යාපනය පිළිබඳ දකුණු ආසියානු කලාපීය සමුළුවට කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය හා කාර්මික විශේෂඥයින් 200 කට අධික පිරිසක් සහභාගීවෙතැයි අපෙක්ෂා කෙරේ.

ලෝකයේ වෘත්තීය අධ්‍යාපනඥයන්, වෘත්තීය හා කාර්මික අධ්‍යාපන පුහුණු ආයතන කර්මාන්ත හා ව්‍යාපාර ආයතන සහ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ උනන්දුවක් දක්වන සහ ඒ හා සම්බන්ධව කටයුතු කරන වෙනත් පුද්ගලයන් හා කණ්ඩායම් ඒකාබද්ධව සැදුම්ලත් ජාත්‍යන්තර සංවිධානයක් වන අන්තර්ජාතික වෘත්තිය අධ්‍යාපන හා පුහුණු සංවිධානය ආසියානු කලාපය තුළ කලාපීය සමුළුවක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය වේ.

අරලියගහ මන්දිරයේ පැවැති මේ අවස්ථාවට වෘත්තීය පුහුණු හා කාර්මික අධ්‍යාපන ඇමැති පියසේන ගමගේ නියෝජ්‍ය ඇමැති එස්. සචිත්තානන්දන් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ඇතුලු නිලධාරි පිරිසක් එක්ව සිටියහ.