පාකිස්තානයට ලබාදුන් නෞකා නාශක මිසයිල නීති විරෝධී අයුරින් වෙනස් කරලා අමෙරිකාව චෝදනා කරන බව ‘නිව්යෝර්ක් ටයිම්ස්’ කියයි

ඉන්දියාවට නව තර්ජනයක් ද ඇතිකරමින් ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකිවන පරිදි එක්සත් ජනපදයේ නිෂ්පාදිත නෞකා නාශක මිසයිල නීතිවිරෝධී අයුරින් වෙනස් කැර ඇතැයි එක්සත් ජනපද රජය පාකිස්තානයට චෝදනා කැර තිබේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙරේදා වාර්තා කළේ ය.

නිර්නාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කොංග්‍රස් මන්ත්‍රීන් උපුටමින් මෙ බව ප්‍රකාශ කරන පුවත්පත, එම චෝදනාව ප්‍රසිද්ධියට පත් නොකළ රාජ්‍ය තාන්ත්‍රික විරෝධතාවක් ලෙස පාකිස්තාන අගමැති යූසුන් රාසා ගිලානිට යොමුකැර ඇත්තේ ඉකුත් ජුනි මස බව සඳහන් කැර තිබේ.

1980 ගණන්වල නිරවි යුද සමයේ එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් පරිපාලනය යටතේ ආරක්ෂක අවියක් ලෙස භාවිතය සඳහා පාකිස්තානයට ලබා දුන් ‘හාපූන්’ නෞකා නාශක මිසයිලය සම්බන්ධයෙන් අදාළ චෝදනාව නැගී තිබේ.

එක්සත් ජනපද හමුදා හා බුද්ධි අංශ නිලධාරින් පවසන්නේ ‘අවි අපනයන පාලන පනත’ උල්ලංඝනය වන පරිද්දෙන් පාකිස්තානය මෙම මිසයිල වෙනස් කැර ඇති බවට ඔවුන් සැක පහළ කරන බවය.

මෙම චෝදනාව ප්‍රතික්‍ෂේප කරන පාකිස්තානය, චූදිත මිසයිලය ඔවුන්ගේ ම නිෂ්පාදනයක් බව කියා තිබේ. එහෙත් පාකිස්තානය නව ප්‍රහාරාත්මක අවියක් ලෙස ඉකුත් අප්‍රේල් 23 දා සැක කටයුතු මිසයිලයක් අත්හදා බලන ලද බව එක්සත් ජනපද බුද්ධි අංශ සොයාගෙන ඇත.

ටයිම්ස් පුවත්පත පවසන්නේ මෙය ඉන්දියාවට එරෙහි ව පාකිස්තාන යුද අවි ගබඩාවට අලුතින් එක්කැරෙන්නක් බව ය. පාකිස්තානය විසින් සංවර්ධිත ගොඩබිම් මිසයිල පද්ධතිය පරිපූර්ණත්වයට පත් කෙරෙමින් පාකිස්තාන නාවික හමුදාවට ගොඩබිම් ප්‍රහාර එල්ල කළ හැකිවන අයුරින් මෙම මිසයිල නිමවා ඇති බව ද එහි සඳහන් ය.

පාකිස්තානය හා ඉන්දියාව අතර යුද අවි තරගයක් ඇතිවීම වලකාලීමට එක්සත් ජනපදය දරන ප්‍රයත්නය ඉන් ව්‍යර්ථ වනු ඇති බව ද පුවත්පත පවසයි.

එක්සත් ජනපදය පවසන පරිදි යුද අවි ව්‍යාප්තිය හා භාවිතය සම්බන්ධයෙන් ඔවුන් දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඒ පිළිබඳව අවධානය යොමු වූ වහාම ආක්‍රමණශීලි අයුරින් ක්‍රියාත්මක වනු ඇත.

මීට අතිරේකව අමෙරිකානු නීතිය තවදුරටත් උල්ලංඝනය කරමින් පාකිස්තානයට ගොඩබිම් මෙහෙයුම් සඳහා ලබාදුන් පී – 3 සී ගුවන්යානා ද වෙනස්කම්වලට භාජනය කැර ඇතැයි ද පාකිස්තානයට චෝදනා එල්ල වී තිබේ.