අට මස් වියැති බිලිඳියගේ කිරි වේලට වස එක් කළ මවක්


උපතින් පසු මහනුවර මහ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම අටමස් බිලිඳියට වස පෙවීමට උත්සහ කළැයි කියන මවක මහනුවර පොලිසිය විසින් (14 දා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අවිවාහක කතක් වන සැකකාරිය මවුකිරිවලට වස මිශ්‍රකර දරුවාට පෙවීමට උත්සහ ගෙන තිබෙන බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.

නොමේරූ ළදරු ඒකකයට මවුවරුන්ට ඇතුළුවීමට අවසර නොමැති බැවින් එහි ප්‍රතිකාර ලබන මවුවරුන්ගෙන් කුඩා භාජනයකට දොවා ගන්නා කිරි හෙදියක විසින් දරුවාට පොවනු ලබන බවත් අදාළ මව එසේ තමන්ගෙන් දොවා ගන්නා කිරිවලට වස මිශ්‍ර කර හෙදියට ලබාදී ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

දරුවාට පෙවීම සඳහා රැගෙන ගිය කිරිවලින් කිසියම් වස මිශ්‍රිත සැරක් වහනය වීම නිසා අදාළ වාට්ටුවේ කාර්යමණ්ඩලයට සැක සිතී සිදුකළ පරීක්‍ෂාවකදී අදාළ මවගේ බඩු භාණ්ඩ තැන්පත් කර තිබූ ලාච්චුවක තිබී කෘමිනාශක බෝතලයක් හමුවී ඇත.

දුනුවිල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය මහනුවර රෝහල් පොලීසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක එම්. නවරත්න මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මහනුවර පොලීසියේ කාන්තා කාර්යාංශයට බාරදී තිබේ.

මේ කාන්තාව විදේශගතව සිටින තම සහෝදරියගේ නිවසේ ඇගේ දරුවන් රැක බලාගනිමින් ජීවත්ව ඇති බවත් සහෝදරියගේ සැමියා අතින් ඇය ගැබ්ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. බමුණුසිංහ මහත්මිය කීවාය. මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය (20දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කැර තිබේ.