පාතාලයේ ප්‍රබලයන් 3ක් ගිනි අවි සමඟ අල්ලයි


බස්නාහිර හා දකුණේ පළාත් රැසක කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසක් සිදුකළ පාතාලකල්ලි ප්‍රබලයන් තිදෙනෙකු ගිනි අවි තුනක් සමඟ පෙරේදා (26) කළුතර කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ ගිනි අවි අතර විදේශයක නිෂ්පාදනය කළ ස්වයංක්‍රීය රිවෝල්වර දෙකක් හා කෙටි තුවක්කුවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පවසයි.

මොවුන් සිදුකළ කොල්ලකෑම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිව ඇති අතර පසුගිය කාලයේ දකුණේ සිදු වූ මිනී මැරුම් කීපයකට ද මොවුන් හවුල් බවට පොලිසිය සැක කරයි.

ඔවුන් සතු ගිනි අවි අපරාධ සිදු කිරීම සඳහා ලබාගෙන ඇත්තේ කෙසේ ද යන්නත් සැකකරුවන්ට කොල්ලකෑම් සඳහා සහය වූ බව කියන තවත් පාතාල කල්ලි සාමාජිකයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහාත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන බව එම විශේෂ විමර්ශන ඒකකය සඳහන් කළේ ය.