විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ජනතාවගෙන් බලය ඉල්ලා පෙන්වන්න ජනමාධ්‍ය ඇමැතිගෙන් ජවිපෙට අභියෝගයක්

එළැඹෙන ජනාධිපතිවරණයේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් හැකි නම් ජනතාවගෙන් බලය ඉල්ලන්න යැයි ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරයි.

හැකි නම් අපේක්ෂකයකු ඉදිරිපත් කොට ජනතාව අතරට ගොස් මේ මතය වෙනුවෙන් ඡන්ද ලබාගෙන පෙන්වන්න යැයි ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවැති (27) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එදා ආණ්ඩුව අපහසුතාවට පත් කරමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ජනතා විමුක්ති පෙරමුණ අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සදාචාරය පිළිබඳ කථා කිරීම පුදුමයට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කෙළේ ය.

වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපතිධූරයේ බලතල යොදා ගෙන රටට හානි කර කිසිදු පියවරක්ගෙන නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගත් ජනාධිපතිවරයාට කෘත ගුණ සැලකීමට රටේ ජනතාව පුල පුල බලා සිටින බවත් කීවේ ය.

ජනාධිපතිවරණයේ දී එළඹුණු එකඟතා පිළිබඳ කථා නොකරන ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධූරයේ එල්ලී සිටින්නේ ඉදිරි මැතිවරණවලදී සිදු වන පරාජය නිසා බවත් ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා සමඟ තරග කරන්නට බිය පිරිස විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම පිළිබඳ කථා කරන බව කී ඇමැතිවරයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නොව හැකි නම් ප්‍රාදේශීය සභා වෙනුවට ගම් සභා ක්‍රියාත්මක කිරීමට එකඟ වන්න යැයි ඉල්ලා සිටියේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට ළඟා වී සිිටින මොහොතේ එතුමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට ඉඩ දිය යුතු බවත් හෙතෙම පැවැසීය.