ජාතිවාදී දේශපාලනය එපා අපි එක පවුලක සොහොයුරන් ජනපති අක්කරෙයිපත්තුවේ දී කියයි

ත්‍රස්තවාදය නිම කළ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වශයෙන් බෙදී වෙන් වී ජාතිවාදී දේශපාලනයේ යෙදීම සුදුසු නැතැයි ද අපි සියලු දෙනා එක පවුලක සහෝදරයන් බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේ ය.

මේ රටේ ජනතාව අතර දැන් කිසිදු බේදයක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා යළිත් කිසිදු බේදයක් ඇති වන්නට ඉඩ නොමැති බවත් පැවැසීය.

රටට ආදරය කරන සියලු දෙනා ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් බවත්, තමන්ට මෙන් ම අනෙක් සැම දෙනාටමත් පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් වැදගත් විය යුත්තේ මවුබිම බවත් ජනපතිවරයා සඳහන් කෙළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ ජාතික කොංග්‍රසයේ 5 වැනි සම්මේලනය අක්කරෙයිපත්තුව මහජන ක්‍රීඩාංගණයේ පැවැති අවස්ථාවට එක්වෙමිනි.

රුදුරු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගෙන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැඟෙනහිර ජනතාවගේ උපහාරය පුද කිරීමේ උළෙල ද පෙරේදා (29) පැවැත්විණි. ජල සම්පාදන හා ජලාපවහන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය මේ උපහාර උළෙල සංවිධානය කළ අතර එම කොංග්‍රසයේ පස්වැනි වාර්ෂික සමුළුවක් මීට සමගාමීව පැවැත්විණි.

2005 වසරේ දී එවකට අගමැතිවරයාව සිටිය දී අක්කරෙයිපත්තුවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික කොංග්‍රස් නායකයාට සහ මුස්ලිම් ජනතාවට දුන් ප්‍රතිඥාව අකුරටම ඉටු කරමින් මේ වාර්ෂික සමුළුව සහ උපහාර උළෙලට සහභාගී විය.

ත්‍රස්තවාදය නිම කොට රටට සාමය උදා කිරීම සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි දේශයක් ගොඩනැගීම, උතුරු නැගෙනහිර වෙන් කිරීම ආදී වශයෙන් එදා මුස්ලිම් ජනතාවගෙන් නැගුණු ඉල්ලීම් ඉටුකළ ජනාධිපතිවරයාගේ සපැමිණීම ඒ ජනතාව විශේෂ ගෞරවාදරයෙන් සැළකූ කරුණක් වූ අතර ජනාධිපතිවරයා රැගත් යානය ඉහළ අහසේ දිස් වූ මොහොත් සිට උත්සව භූ®මියෙන් පිටව යනතුරුම එකම ප්‍රීති ඝෝෂාවකින් අක්කරෙයිපත්තුව වැසී ගියේ ය.

තමන් කරන සෑම දෙයකට ම විරුද්ධව විපක්ෂය අසත්‍ය ප්‍රචාර කරමින් සිටින බව සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒවා විශ්වාස නොකරන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

තමා රටේ නායකයා මෙන් ම ජනතාවගේ මිත්‍රයා ඥාතියා ද වන බව සඳහන් කළ ජනාධිපතිවරයා තමා ජනතාව කෙරෙහි විශ්වාසය තබන අයුරින් ජනතාව ද තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව අවධාරණය කෙළේය.

ජාතික කොංග්‍රසයේ නායක, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති ඒ. එම්. අතාවුල්ලා, සමාජ සේවා සහ සමාජ සුබ සාධන ඇමැති ඩග්ලස් දේවානන්දා, නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්, කම්කරු ඇමැති මර්වින් සිල්වා, ජාතික කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නායක දොස්තර උදුමා ලෙබ්බේ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ