උතුරේ ජනතාවට සහන පොලියට ණය

උතුරේ පදිංචි ජනතාවට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා සියයට එකක පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය පියවර ගනී. කෘෂිකර්ම, සත්ව පාලන, සුළු කර්මාන්ත, අලෙවිකරණ ආදී ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා මේ ණය මුදල ලබා දෙනු ඇත.

ව්‍යාපෘති සඳහා වැයවන මුදලින් සියයට අනූවක ණය මුදලක්, උපරිමය රුපියල් ලක්ෂ දෙකකට යටත්ව ලබාදෙන බව සමෘද්ධි බැංකු මූල්‍ය අධ්‍යක්ෂ සිසිර තානායම්වත්ත මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව සහ සමෘද්ධි බැංකුව ඒකාබද්ධව උතුරු වසන්තය වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මේ ස්වයං රැකියා ණය වැඩසටහන සඳහා වන අවබෝධතා ගිවිසුම ලබන සතියේ අත්සන් කැරේ.

උතුරේ ස්ථිර පදිංචි සහ අවතැන් කඳවුරුවල සිට නැවත පදිංචි කළ ස්ථිර පදිංචිකරුවන්ට මේ ණය ක්‍රමයට ඉල්ලුම් කළ හැකි අතර සමෘද්ධි බැංකු මගින් ණය ක්‍රමය ක්‍රියාත්මක කැරේ. මේ වන විට උතුරු ප්‍රදේශයේ සමෘද්ධි බැංකු 37ක් පිහිටුවා ඇති අතර අනෙකුත් සියලුම ප්‍රදේශවල සමෘද්ධි බැංකු පිහිටුවීමට පියවර ගන්නා බව ද තානායම්වත්ත මහතා කීය.