රනිල්ට බැන්නොත් හඩ්සන්ගේ කට කපනවා දියණියට නිර්නාමික දුරකථන ඇමැතුමක්

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බැන්නොත් තාත්තා ගේ කට කපා පවුලේ සියලු දෙනා මරා දමන බවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාගේ දියණියට දුරකථනයෙන් බැණ මරණීය තර්ජනය කිරීම පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට පියවර ගත්් බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා වෙත මේ බව දන්වා සිටි පොලිසිය කොළඹ 7 ටොරින්ටන් උද්‍යානයේ පදිංචි සාගරිකා මාධවි කළුආරච්චි මහත්මිය කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මේ විමර්ශනය සිදු කරන බව දන්වා සිටියේය.

සිය නිවසේ දුරකථන අංකයට පසුගිය මැයි මාසයේ දිනක දී දහවල් කාලයේ කතා කළ නාඳුනන පුද්ගලයෙකු තමාට මෙසේ තර්ජනය කළ බව කළුආරච්චි මහත්මිය පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.

අංක 2691514 දරන දුරකථනයෙන් මේ තර්ජනාත්මක දුරකථන ඇමැතුම් ලැබී ඇති බවත් එසේ කතා කළ පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාට බැන්නොත් තාත්තා ගේ කට කපන බවත් පවුලේ ඔක්කොම මරන බවත් පසුව තමාට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවත් කියන පැමිණිලිකාරිය කුමන හේතුවක් නිසා එම පුද්ගලයා තමාට බැන තර්ජනය කර කරදර කළාදැයි කියා කියන්නට නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

මෙය වරදක් බව දන්වා සිටි පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බවත් පැමිණිලිකාරියට බැන තර්ජනය කිරීම සඳහා යොදා ගත් අංක 2691514 දරන දුරකථනයේ ලියාපදිංචි අයිතිකරු ඇතුළු එහි ඇමැතුම් තොරතුරු ලබා ගැනීමට නියෝගයක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ පැමිණිල්ලට අදාළව සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත. අදාළ දුරකථනය පිළිබඳ තොරතුරු වාර්තාවක් කුරුඳුවත්ත පොලිසියට ලබා දෙන ලෙසට දුරකථන සමාගමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විමර්ශනයේ ප්‍රගතිය ලබන දෙසැම්බර් 18 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසට තවදුරටත් පොලිසියට නියම කෙළේය.