මෙහෙ ඇවිත් අනම් මනම් කියන්න එපා සජිත්, රනිල්ට කියයි

අතට ගන්නා එකම සටන් පාඨයක්වත් දිගට ගෙන යන්නට බැරිවිය. ජනතාවගේ සිත් වශී කරවන සටන් පාඨ ඒ අතර නොවූ නිසාය. දැන් සටන දිගට ගෙන යන්නේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සහ මංගලගේ ඒකපුද්ගල දේශපාලන බලවේගයයි. මෙම බලවේගය එ.ජා.ප.යත් ජ.වි.පෙ.ත් එකතු කිරීමේ

මහා කපුකම අතට ගෙන ඇත්තේ මහා කපු මංගල සමරවීරයි.

මංගල කපුවා අලි හොඬය සහ සීනුව එකතු කරන්නට හදන්නේ ලොකු සටනකට නොව බලයේ සිටින මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන්නටය. බලවේගය නිර්මාණය කරන්නට ගන්නා සියලු උත්සාහයන් අසාර්ථක වන්නේ ජනතා බලවේගය මංගල සතුව නැති නිසාය.

කොහොම වුණත් දැන් අලුත්ම සටන් පාඨය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. හදිසියේ මේ අදහස පහළවූයේ ඇයි දැයි යන්න ඕනෑම දරුවකුට වැටහේ. විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂව සිටියේ එක්සත් ජාතික පක්ෂය පමණි. විධායක ජනාධිපති තනතුරේ නිර්මාණකරුවා ද එජාපය වෙයි.

මංගල සමරවීර ද විධායක ජනාධිපති තනතුරට විරුද්ධය. ජනතා විමුක්ති පෙරමුණ මුල සිටම විරුද්ධය. එහෙත් ජ.වි.පෙ. එම තනතුරට තරග කළේය. පැරදුණේය. එජාපයත් එසේමය. රනිල් ඉල්ලුවේය. පැරදුණේය.

දැන් නම් ජනතා විමුක්ති පෙරමුණට ජනාධිපති තනතුර තබා මරණාධාර සමිතියේ සභාපති තනතුරවත් ලබාගන්නට හැකිවන්නේ ඉතාමත් අමාරුවෙනි. රනිල් වික්‍රමසිංහ මහතා එදා සිටම විධායක ජනාධිපති පදවියට විරුද්ධ නැතත් ඔහුට ද ඉදිරියේදී චාන්ස් එකක් නැත. ඒ නිසා දැන් මේ අයියලා එකතුවී සියලු උප්පරවැට්ටි යොදන්නේ ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය සහ කුහකකම තුරුල් කරගෙන කුපාඩි දේශපාලනයක් කිරීමටය.

විධායක ජනාධිපති ධූරය එක එක හාල්පාරුවන්ට අවශ්‍ය විදියට අහෝසි කරන්නට ආණ්ඩුව සූදානම් නැත. තුනෙන් දෙකේ් බලයක් හිමිවූ විගස ඒ ගැන සලකා බැලිය හැකිය. විධායක ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර හයක් නොව සදාකාලිකව සිටියත් ජනතාව එයට විරුද්ධ නැත. එම තනතුරේ ජේ.ආර්. සිටියේය. ප්‍රේමදාස සිටියේය.

ඊළඟට චන්ද්‍රිකා ආවේය. ඒ සියලුදෙනා නොකළ මහා විස්මිත කාර්යභාරයක් ඉටු කරන්නට මහින්ද රාජපක්ෂට හැකිවිය. රටට තවත් වැඩකරන්නට තිබේ. මන්ත්‍රී කාලයෙත් මහින්ද වැඩ කළේය. ඇමැති කාලයෙත් එසේමය. කම්කරු ඇමැති ලෙස වැඩක් කරමින් සිටියදී ධීවර ඇමැතිකමට මාරු කළත් වැඩ කළේය. අගමැති හැටියට ද එසේමය.

මේ ශ්‍රී ලංකා ධරණි තලයේ බිහිවූ කිසිම නායකයකු නොකළ විශ්වකර්ම වැඩ කොටසක් කළේ විධායක ජනාධිපති රාජ්‍ය නායක, සේනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

මවුබිමට එවන් සේවයක් කළ මහින්ද රාජපක්ෂගේ ගමන් මඟ නතර කරන්නට මංගල, රනිල්, සෝමවංශ වැනි දේශපාලන නන්නත්තාරකාරයන් දඟලන දැඟලිල්ලට මේ රටේ ඉඩක් නැත. මංගලට ඇත්තේ සදා නොමැකෙන දේශපාලන වෛරයකි. වෛරයෙන් කරන දේශපාලනයෙන් විනාශ වන්නේ මංගලමය.

ලස්සනට ගොඩනඟන රටක් තව තවත් ලස්සන කරන්නට මංගල කළ යුත්තේ පූර්ණ සහාය ලබාදී ජනතා ප්‍රසාදය ලබාගෙන යළිත් දේශපාලන ධාරාවට එකතුවීමය. එසේ නොවුණහොත් දේශපාලන කුණු බක්කිය පිය උරුමයෙන් ලැබීමය. එය වළක්වන්නට හැකි ජගතකු මිහිපිට බිහිනොවනු ඇත.

ඇලික් අලුවිහාරේ මහතාගේ තෙමස් පින්කම වෙනුවෙන් මාතලේ නිවෙසේ පැවැති දානයට මීට දෙසතියකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි විය. දානයට සහභාගි වී පැමිණියාට පසු කදිම සිද්ධියක් ගැන මාණික්‍යට වාර්තා වෙයි.

අලුවිහාරේ පවුලේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් ප්‍රකාශ කර ඇත්තේ “මීට පස්සෙ අලුවිහාරේ පවුලේ සියලුම ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාට” බවයි.

රාජපක්ෂ මහතා දානමය පින්කම් ගෙදරින් පිටවූ විගසම එම ප්‍රතිඥාව හෙවත් ප්‍රකාශය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ඉදිරියේ වීම ද විශේෂ සිද්ධියකි.

1949 සිටම මාතලේ අලුවිහාරේ පවුල පරම්පරාගත එක්සත් ජාතික පාක්ෂිකයෝ වෙති. එවැනි පවුලකට දැන් රනිල් වික්‍රමසිංහ මහතා එපා වී ඇති බව වික්‍රමසිංහ මහතාට සැලවී හමාරය. ඒ ගැන රනිල්ට මල පැන ඇති බව සමන් අතාවුදට සහ කලවැදි චින්තකට කළ ප්‍රකාශයකින් පැහැදිලි වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාට දැන් දකුණු පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සිදුවී තිබේ. මේ රටේ සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදාය වන්නේ බලයේ සිටින ආණ්ඩුවක් පරාජය කිරීමට විපක්ෂය හැමදාමත් සැදී පැහැදී සිටීමය. එහෙත් සියලු ඡන්දවලින් පරාජය වූ රනිල් වික්‍රමසිංහ මහතාට මැතිවරණ කවදාවත් ගෝචර නැත. හැමදාමත් ඇලජික්ය.

එහෙත් වික්‍රමසිංහ මැතිවරණ කටයුතු සඳහා මාතරට ගියහොත් ඔහුට හූවෙන් සංග්‍රහ කිරීමට ජස්ටින් ගලප්පත්තිගේ ගෝලයෝ සූදානම්ව සිටිති.

හම්බන්තොටට අවුත් අනම් මනම් විකාර නොකරන ලෙසට සජිත් පේ‍්‍රමදාස මහතා රනිල්ට තදින්ම අවවාද කර තිබේ.

“මේ පැත්තේ ඡන්ද මම බලා ගන්නම්” යයි සජිත් කියා ඇත. නාම යෝජනාවලට අස්සන් කිරීමේ අවස්ථාවට සහ නාම යෝජනා මණ්ඩලවලට ද සජිත් සිරිකොතට ගියේ නැත.

මේ අතර මාතර සිටින දේශපාලන කුරුමිට්ටා පසුගියදා විජ්ජාකාරයකුගේ චරිතය රඟපෑවේය. රෝහල්වල ලෙඩ්ඩු බලන්නට යන මොහොතට පෙර රෝහලේ ගේට්ටු ළඟත්, සති පොළේත්, බස් නැවතුමේත් දින පොළේත් විජ්ජා කාරයෝ අපූරු විජ්ජා පෙන්වති. කම්මැලිකම යන්නට ජනතාවත් මේවා බලා ගෙන සිටින්නේ පුංචි පහේ් ජොලියක් සඳහාය.

සමහර විජ්ජා කාරයෝ කළුගල් ගිල බඩට ගිය පසු බඩට තට්ටු කර ජනතාවට පෙන්වති. තවත් අය ටියුබ් ලයිට් හපා කති. සමහර පොල් ගෙඩිය අතින් හෝ කකුලෙන් ලෙලි ගසා අතින් බිඳ පෙන්වති. මේ සියල්ල කරන්නේ මිනිසුන් ගෙන් කීයක් හරි ලබාගෙන ඹ්වත් වීමටය.

මාතර අඟුටුමිටි බුද්ධික පතිරණ ද පසුගිය දා පොඩි විජ්ජාවක් පෙන්නුවේ සිය පාක්ෂිකයන්ටය. එය විජ්ජාවකට වඩා ගොන් පාට් එකක් බව එය බලා සිටි යූඇන්පී කාරයෝ දහඅට දෙනා කියති.

බුද්ධික ඉදිකට්ටකින් ඇඟිලි දෙකම විද ගත්තේය. ලේ පිට විය. ඒ ලේ පෙන්වා බුද්ධික කීවේ තමා කවදාවත් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවයි. මෙසේ ලේ සමඟ බුද්ධික මල්ලි යකා නැටුවේ අයියා කෙනකු ලෙස හැසිරෙමිනි. බුද්ධිකගේ අයියා පාට් එක හෙවත් ගොන් පාට් එක රූපවාහිනියෙන් දුටු ඇත්තෝ සත්‍ය තත්ත්වය නොදනිති.

මොහු පසුගිය සති කිහිපය තුළ ආණ්ඩුවට එක්වන්නට ෆුල් ට්‍රයි කළේය. ඔහු සාගල සමඟ ද තරහය. දකුණු පළාත් සභා ඡන්දයට සකසා ඇති සන්ධාන ලැයිස්තුවේ හිස් තැනක් නැති නිසා යූඇන්පීයට වී වැඩක් බලා ගන්නා ලෙස ආණ්ඩුවේ ඉහළ බලධාරියෙක් බුද්ධික ගෙන් ගැලවෙන්නට බැරි තැන කියා සිටියේය.

සිය මාමණ්ඩියගේ අනුහසින් ආණ්ඩුවට එක් වෙන්නට දැඟලු හැටි දැන් මාතර එජා පාක්ෂිකයන්ට ද ආරංචි වී තිබේ. මෙම දැඟලිල්ල හා ට්‍රයි එක වැරදුන විට බුද්ධික කළේ ලේ පෙන්වා ගොන් පාට් දැමීමය.

මෙම සිද්ධිය ගැන බුද්ධිකගේ මාමා තරයේ අවවාද කර තිබේ.

“උඹට ඕනැම පක්ෂයකට යන්න ඉඩ තියෙනවා. එහෙත් රට මුදා ගත් ජනාධිපතිතුමාගේ සිත රිදෙන එක වචනයක් වත් කීවොත් උඹේ අඟුටුමිටි කම පොළොවටම සමතලා කරනවා” මාමා කීවේය.

බුද්ධික ඕනෑවට වඩා දඟලන්නට ආවොත් ඔහු ගැන තවත් තොරතුරු මාණික්‍ය සතුව ඇති බව කිව යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවට මං-ගල නග්ගන්න එපා යයි දකුණු පළාත් සභා එජාප ඡන්ද අපේක්ෂකයෝ රනිල්ට තරයේ දැනුම් දී තිබේ. වෛරය සහ ඊර්ෂ්‍යාව පිරි මහ ගන්නට දේශපාලනය කරන මං-ගල වැනි අයගෙන් එක්සත් ජාතික පක්ෂයට යහපතක් නොවන බව එජාප අපේක්ෂකයෝ පවසති.

“ආණ්ඩුවේ සිටි මං-ගල එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මඩ ප්‍රහාර එල්ල කළා. ජයලත් ජයවර්ධනට දුරකථන සංවාදවලින් මඩ ගැහුවා. නායකතුමනි, බටලන්ද වධකාගාරය පදනම් කරගෙන ඔහු කළ කී දෑ දන්නවා නේද? ඔබතුමාටත් එක්සත් ජාතික පක්ෂයටත් මංගල කළ දේවල් ඔබතුමාට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

හෙට අනිද්දා එදා කළ කී දෑ ජාතික රූපවාහිනියෙන් අයි.ටී.එන් එකෙන් ආපහු පෙන්වන විට ඔබතුමාට තරු විසිවේවි” යයි දකුණෙන් එජාප අපේක්ෂකයෝ රනිල් වික්‍රමසිංහ නායකතුමාට සිහිපත් කර දුන්හ.

”ඒ නිසා වැරදිලාවත් මං-ගල වේදිකාවට ගන්න එපා යයි ඔවුහු තරයේ කියා සිටියහ. විදේශ විනිමය වංචා චෝදනා ලබා විදෙස් ගමන් බලපත්‍රය පවා අධිකරණයේ භාරයට ගෙන රට පැන යාම තහනම් කර සිටින රවි අනුන්ගේ රෙදි හෝදන්නට පෙර තමන් රෙදි ඇඳගෙන තිබේදැයි විමසිලිමත් විය යුතු බව දකුණේ එජාප අපේක්ෂකයෝ රනිල්ට දැනුම් දී ඇත.

මෙම දැනුම් දීමත් සමඟම දකුණේ වේදිකාවට නංවා කතා කරන්නට අලුත් ගිරවුන් දෙදෙනකු තිස්ස අත්තනායක විසින් පුහුණු කරගෙන යන බව දැනගන්නට තිබේ.

මේ අතර මුල්‍ය වංචා චෝදනාවලට මැදිවී සිටින චින්තකට දඬුවමක් ලබා නොදෙන්නේ ඇයිදැයි ඔහු සේවය කරන ආයතනයේ සේවකයෝ ප්‍රශ්න කරති. එම සේවකයන් කෝපවී සිටින්නේ චින්තකට එරෙහිව පියවරක් ගැනීමට මේ තරම් ප්‍රමාදවීම ගැනය.

පත්තර ලොක්කකුගේ බෑනා කෙනකු රවටා ගෙන සිය පැවැත්ම තහවුරු කර ගැනීමේ බලවත් උත්සාහයක චින්තක යෙදී සිටින බවද වාර්තා වෙයි. චින්තකට අනුග්‍රහය දක්වන මෙම බෑනාට තානාපති සේවයේ රැකියාවක් ලබා ගැනීමට චින්තක උදව් කර ඇති බව සේවකයෝ පවසති.

බෑනා ගැන විස්තර ද මාණික්‍යට ලැබී තිබේ. චින්තකට එරෙහිව පියවරක් නොගන්නේ නම් මින් ඉදිරියට එම පුවත්පත් ආයතනයේ සේවකයන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියා මාර්ගයක් ගැනීම නොකළ යුතු බව සේවකයෝ මාණික්‍යට පැවසූහ.

දේශපාලන තීරු ලිපි දෙකක් ඉරිදා ලංකාදීපයේ එන සතියේ සිට පළ කිරීම ගැන රනිල්ට මල පැන තිබේ. ඉන් එක් ලිපියක් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රනිල් ඇතුළු එක්සත් ජාතික පක්ෂයට මඩ ගැසීම සඳහා නිර්මාණය කරන ලද්දක් බවට චින්තක සහ ජයතුංග රනිල්ට පැමිණිලි කර තිබේ.

මෙය සිදුවන්නේ රණතුංග නැමැත්තකුගේ උවමනාව පිට පළවන්නක් බව චින්තක රනිල් ගේ කනේ තබා ඇත. කර්තෘවරයා මේ ලිපිය පළ කරන්නේ කුමන පදනමක් මතදැයි චින්තක රනිල්ගෙන් විමසා ඇත.

”මේ ගැන ඔබතුමා රංජිත් විජයවර්ධන මහතාගෙන් විමසන්නේ නැත්තේ ඇයි”දැයි චින්තක රනිල්ගෙන් ප්‍රශ්න කර ඇත.

මෙයින් කෝපයට පත්වූ රනිල් “ඔය දෙන්නගේ ගනුදෙනු ගැන මං දන්නවා. මම රංජිත්ට සහ රුවන්ට කතා කරලා හොඳ දෙන්නෙක් එතැනට දමන්නම්” යැයි කීවේය.

කෝකටත් අපි පුවත්පත් සාකච්ඡාවක් තියලා සියලු තොරතුරු හෙළි කරමු.” යැයි චින්තක සතුටු කළේය.

ආණ්ඩුවට එරෙහිව තවත් සම්මුඛ සාකච්ඡාවක් අවශ්‍ය දැයි මෙහිදී ජයතුංග විමසීය.

රණවිරුවෝ අපේ දෙවිවරු වෙති. ඔවුහු රට මුදා ගත්හ. ඊළඟට අප කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ණවත් කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ගැනය. ක්‍රිකට් ඔස්සේ විශාල මුදලක් ඔවුහු උපයා දෙති. මුදල් කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයෝ රජයටත් ජනාධිපතිතුමාටත් සම්පතකි.

එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයන් උපයන මුදල් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් අයට ඒ හැටි ලොකු නැති බව පෙනේ. ක්‍රිකට් ඉහළම නිලධාරියා ගේ බෑනා කෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාව දන් ගෙඩිය හමුවේ තබන්නට සැරෙසන බව පෙනේ.

මෙම බෑනාගේ තනතුර ලිපිකරුවකුට සමාන වුවද ඔහු ලොක්කාගේ බලය උපයෝගී කරගෙන සිය ආධිපත්‍යය තහවුරු කිරීමට කටයුතු කරන බවද වාර්තා වෙයි. මොහු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක් වැය කොට කාර්යාල කාමරයක් සාදන බවද සැලයි. මෙම කාමරය හැදීම ගැන තවත් විශේෂ කතාවක් ඇසෙයි.

කාමරය නිර්මාණය කරන්නේ අහවල් මිසිස්ලු. කාමරය හැදුවාම මිසිස් එහි තනතුරකට යනවාලු.

මේ බෑනා එජාපයෙත් ප්‍රබලයෙකි. බස්නාහිර පළාත් සභාවට ඉල්ලා ගෙන කෑ මේ බෑනා දැන් ක්‍රිකට් මණ්ඩලයේ මුදල් කනවාලු.

මොහු කතා කරන්නේ ක්‍රිකට් භාෂාවෙන් නොව පරුෂ වචනයෙන්ලු. මෙම පරුෂ වචන හෙවත් කුණු හරුපවලට ඔහු හුරුවී සිටින්නේ තවත් හුටපටයක් නිසාලු. පසුගිය කාලයේ ඔහු විදේශ රැකියා කාර්යාලයක් පවත්වා ගෙන ගියේය.

ගෘහ සේවිකාවන් රට යැවීමට මුදල් ලබා ගත්තත් රට යවා නැත. ඒ අය මුදල් ඉල්ලන්නට ආවිට මේ ක්‍රිකට්කාරයා කතා කරන්නේ පරුෂ වචනවලිනි. කුණු හරුපවලිනි.

දකුණු පළාතේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැදීමට දැනටමත් මොහු සියයට 10 ක් ඉල්ලූ බව කියති. මොහුගේ සහෝදරයකු ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇතුළත් කරගෙන රුපියල් ලක්ෂ තුනක වැටුපක් ලබාදීමට සූදානම් බවද දැනගන්නට තිබේ.

ගාල්ලේ වජිර දැන් නිහඬය. යුද්ධය දිනුවොත් බුද්ධාගම අත්හරින බව ඔහු එදා කීවේය. බුද්ධාගම අත්හරිනවා පමණක් නොව වෙනත් ආගමකට යන බව ද ඔහු කීවේය. යුද්ධය දිනාවි කියා වජිර කිසිදා සිතුවේ නැත. කට පැරදුනේ ඒ නිසාය. නොදන්නා මඟුල් ගැන කතා නොකරන දේශපාලනය පමණක් කරනවා නම් කොයිතරම් නම්බුකාරද? වජිර ආගම ගැන කතා කළාට ඔහු ආගම දන්නේ නැත.

පොඩි කාලයේ පටන්ම වජිර බණපද දන්නේ නැත. බුද්ධාගමේ ගාථාද වැඩිය. ඒවා ඔහුට මතක හිටින්නේ ද නැත. බුද්ධාගම තිත්ත වුණේ ඒ නිසා විය හැකිය. දැන් වජිර අදහන්නේ මොන ආගමදැයි අපි නොදනිමු. දැන් වජිරට ගාල්ලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ නායකත්වය අහිමි වී සිටී.

”නොවැඩුණ මගේ මනසට නොදැනෙන අරුම බුදු බණ”

එහෙම නේද වජිර.

තවදුරටත් වජිර මෙසේ කියන්නේය.

”නොදනිමු. මම සතර බණ පද – උගත්තෙමු හරහා ගුණ නැණ - රැකුම දෙමි වැටුණ කොටිනට - නොහැර යන්නට මගේ ආගම.”