නිල වාහනයෙන් පාඩුවක් වුණා නම් ගෙවීමට සූදානම් -ඇමැති පියසිරි විජේනායක


තම නිල වාහනය පරිහරණය කිරීමෙන් රජයට යම් පාඩුවක් සිදුවූයේ නම් එය තමාගේ පෞද්ගලික මුදලින් ආපසු ගෙවීමට තීරණ කළ බව සංස්කෘතික කටයුතු ඇමැති පියසිරි විජේනායක මහතා ප්‍රකාශ කරයි.

මහජන ඡන්දයෙන් තේරී පත් වූ මහජන නියෝජිතයකු ලෙස රජයේ මුදල් රෙගුලාසි හා විධිවිධාන වලට අනුකූලව කටයුතු කිරීමට තමා බැඳී සිටින බවද ඒ මහතා අවධාරණය කරයි.

සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තම නිල රථයට වැය කළ මුදල පිළිබඳ වහාම පරීක්ෂා කර බලන ලෙසට අමැතිවරයා ලිපියක් මඟින් දන්වා ඇත.

අමාත්‍යාංශය විසින් තමාට නිල වාහන ලබාදෙන තෙක් තාවකාලික පදනම මත පරිහරණයට යෙදවූ එ ර්‍ථ ට් ක 0386 අංක දරන ජීප් රථයට වැය කළ මුදල පිළිබඳව පාර්ලිමේන්තුවේදීත්, ඉන් බැහැරදීත් බරපතල ලෙස සාකච්ඡාවට භාජනය වූ බව පවසන විජේනායක මහතා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ආයතන ස්වකීය වාහන අවශ්‍යතාවන් සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේදී වැය කළයුතු මුදලට වඩා වැඩි මුදලක් තමාට සැපයූ වාහනයට ගෙවා ඇත්නම් වහාම පරීක්ෂා කර දන්වන ලෙස ඒ මහතා ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටී.