එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය

සංවිධානාත්මක අපරාධ සහ ම්ලේච්ඡ මිනිස් ඝාතන සිදුවීම් වැඩිවත්ම, ඒවා මැඬලීමට මඟක් ලෙස එල්ලුම් ගස නැවැත ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

මෙරට සිදුවන මිනීමැරුම්, අපරාධ හා මංකොල්ලකෑම්වලට වැරදිකරුවන්් වී මරණ දඬුවම නියම වූ පුද්ගලයින් හත්සීයයකට අධික පිරිසක් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ පිරිස අතුරින් 260 දෙනෙකුම තමනට නියම වූ දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාවන් ද ප්‍රතික්ෂේප වූවන් බව එම දෙපාර්තමේන්තුව කියා සිටියි.

මීට අමතරව රටපුරා සිදුවන සංවිධානාත්මක අපරාධ අවම කර ගැනීමේ අරමුණින් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති මිලින්ද මොරගොඩ, අමාත්‍යාංශ ලේකම් සුහද ගම්ලත් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෑම මාසයකට වරක් ම ඉහළ පෙළේ හමුවක් පවත්වා සිදුවූ අපරාධ පිළිබඳ විමර්ශනයක් සිදු කැරේ. මේ විශේෂ විමර්ශනයේ අරමුණ රටේ සිදුවන අපරාධ ප්‍රමාණය ක්‍රමිකව අවම කිරීමට පිළියම් සොයා බැලීමය.