ඊශ්‍රායල් යුද ගුවන් යානා රෆා නගරයට පහර දෙති

ඊශ්‍රායල යුද ගුවන් යානා අඟහරුවාදා අලුයම රෆා නගරයට ප්‍රහාර එල්ල කළ බව පලස්තීන ආරක්ෂක නිලධාරිහූ පවසති. මෙයට ප්‍රතිචාර දක්වමින් ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට මෝටාර් ප්‍රහාර එල්ල කර ඇත.

මෙය ඉකුත් අගෝස්තු 10 වන දිනෙන් අනතුරුව ගාසා තීරයට ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයෙකි. මේ ප්‍රහාරය ඉලක්ක ගතකර ඇත්තේ ඊජිප්තු දේශ සීමාවේ පිහිටා ඇති උමං මාර්ගයි.

ඊශ්‍රායලයට එල්ල කරන සෑම රොකට් සහ ෂෙල් ප්‍රහාරයකට එරෙහිව ඊශ්‍රායල හමුදාව ප්‍රතිචාර දක්වනු ඇති බව එරට අගමැති බෙන්ජමින් නෙතානියාහු සති කිහිපයක් සිට අනතුරු අඟවා තිබිණි.

ඊශ්‍රායල ප්‍රහාර හේතු කොටගෙන පලස්තීන ජාතිකයෙක් මියගිය අතර, පලස්තීන රොකට් ප්‍රහාර නිසා ඊශ්‍රායල හමුදා භටයෙක් මියගිය බව වාර්තාවේ.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලය මෙහෙය වූ දින 22 ආක්‍රමණයෙන් අනතුරුව ඊශ්‍රායල වෙත රොකට් ප්‍රහාර 200 ක් එල්ල වූ බව වාර්තාවේ.

ඊශ්‍රායල ආක්‍රමණය නිසා පලස්තීනුවන් 1,400 පමණ මියගිය බවට චෝදනා එල්ල වී ඇත. මෙයින් වැඩි පිරිසක් සාමාන්‍ය වැසියන් බව වාර්තා වේ.

මේ ප්‍රහාර නිසා ගාසා තීරයේ විශාල කොටසකට දරුණු අලාභ හානි සිදුවී ඇත.