තණමල්විලට ගම නැගුමෙන් නවෝදයක්

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ගම නැගුම සංවර්ධන ක්‍රියාවලිය යටතේ ව්‍යාපෘතීන් 06ක් ක්‍රියාත්මක වේ.

සූරිය ආර 23 ජනපදය ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කොට මේ වන විට ජනතා අයිතියට පත් කොට අවසන් ව තිබේ. එමඟින් පවුල් 600කට ආසන්න ප්‍රමාණයක් වක්‍රාකාරයෙන් ප්‍රතිලාභ ලබා ගනී. මීට අමතර ව ව්‍යාපෘති 04ක් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ පවතී. (උස්ගල, අලුත්වැව, කණ්ඩියපිට වැව සහ නිකවැව)
බෝදාගම ග්‍රාමසේවා කොට්ඨාස‍ෙයහි මීගස්වැව පිටවාන සකස් කිරීමේ ව්‍යාපෘතියෙහි ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය මේ දිනවල සිදුකරමින් පවතින බව හා ඉතා කඩිනමින් එහි වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කර ගෙන යන බව තණමල් විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ව්‍යාපෘති භාර නිලධාරි රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

මෙකී සංවර්ධන යෝජනා ක්‍රම යටතේ එක් එක් ග්‍රාම නිලධාරි කො‍ට්‍ඨාසයට අනුමත මුදල්‍ දායකත්වය රැපියල් 500,000ට ආසන්න ප්‍රමාණයක් බව ගණන් බලා ඇති අතර ම සියලු ම යෝජනා සඳහා මෙහිදි අදාල ප්‍රදේශයේ ජනතාවගේ දායකත්වයද ලබා ගනී. එය 20% ලෙස ගණන් බලා ඇත.

මෙම සංවර්ධන යෝජනා ක්‍රම සඳහා ප්‍රතිපාදන ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම්‍ අමාත්‍යාංශය ය‍ටතේ ලබා ගනී.