දකුණේ නාම යෝජනා භාර ගැනීම අද සිට

අගෝ: 21 - දකුණු පළාත් සභා මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ, නාම යෝජනා භාර ගැනීම ලබන 28 වන දා දහවල් 12.00න් අවසන් වන බවය.

ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා වන කාලය ලබන 27 වන දා දහවල් 12.00ට අවසන් වනු ඇත.

මේ අතර, දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා සැකසීම බොහෝ දුරට අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කර එකඟතාවලට පැමිණ ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය ද දකුණු පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා සැකසීමේ කටයුතු බොහෝ සෙයින් අවසන් කර ඇතැයි එම පක්ෂය පැවසීය.