ඌව පළාත ශ්‍රී ලංකාවේ හොඳම පළාත කරනවා නව මහ ඇමැති වැඩ අරඹමින් කියයි

ආර්ථික සංවර්ධනයෙන්් පිරි ලංකාවේ හොඳම පළාත් සභාව ලෙසට ඌව පළාත් සභාව පත් කිරීම තම එකම බලාපොරොත්තුව යැයි එහි නව මහ ඇමැති ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

බදුල්ල පළාත් සභා සංකීර්ණ භූමියේ පිහිටි සිය කාර්යාලයේදී ඊයේ (26) රාජකාරී කටයුතු අරඹමින් රාජපක්ෂ මහතා එසේ කීය. චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වා ආගමික වතාවත් සිදුකොට රාජකාරී කටයුතු ඇරැඹිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව මහ ඇමැතිවරයා, අද අපිට ලැබුණු මේ මැති ඇමැතිකම් අයිති අපිට නොවෙයි. ඒවා අයිති ඌවේ වීරෝදාර ජනතාවටයි.

එදා 1818 ඌවේ කැරැල්ලට නායකත්වය දුන්, ජීවය දුන් වීරෝදාර පරපුරේ ජනතාව අපි ගැන විශ්වාසය තබා අපිට මෙවර ජය ලබා දුන්නා. දැන් අපේ වගකීම හා යුතුකම වන්නේ ජනතා විශ්වාසය පළුදු නොකර හැකිතරම් ඌවේ ජනතාවට සේවය කිරීමයි. අපිට ආඩම්බරයෙන් කථා කළ හැකි වර්තමානයක් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානීන් උරුම කර දුන්නා. අපි මේ ආඩම්බර, අභිමානවත් වර්තමානය අනාගත පරපුරටත් උරුම කරදිය යුතුයි.

ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව්, සෞඛ්‍ය, ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ද මෙහිදී කථා කළහ.

කතරගම කිරිවෙහෙර, මුතියංගණ, මහියංගණ විහාරාධිපති වහන්සේ ඇතුළු මහ සඟරුවනද මේ අවස්ථාවට වැඩමකොට ආශිර්වාද පිරි නැමූහ.

චමල් රාජපක්ෂ මහතා හා එම මහත්මිය, වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, ජාතිය ගොඩනැඟීමේ අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, හිටපු මහ ඇමැති ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් අමාත්‍යාංශ ලේකම්වරු, ඌව පළාත් ආණ්ඩුකාර ලේකම් හා එම කාර්ය මණ්ඩලය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නගරාධිපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්්ව සිටියහ.