නීතියට උඩින් යන්න කාටවත් බෑ ජනාධිපති අවධාරණය කරයි


මේ රටේ නීතියට උඩින් යන්න කාටවත් පුළුවන්කමක් නෑ. නීතිය කඩකරන කිසිවකු ආරක්‍ෂා කිරීමට අප සූදානම් නෑ” යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

තමන්ට තමන් පාලනය කර ගන්න බැරි කෙනෙක් හමුදාව හෝ පොලිසිය තුළ සිටින්න පුළුවන්කමක් නැතැයි ද ඒ මහතා කීය.

රණවිරු “වීරාභි නන්දන” සබරගමු පළාත් උපහාර මහෝත්සවය ඓතිහාසික රත්නපුරය සමන් දේවාලයේ ඊයේ (18) පැවැති අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

“අපට විනයක් තියෙන්න ඕනෑ. අපේ හමුදාවට හොඳ විනයක් තිබුණා. ඒ නිසා මුළු ලෝකයේම ගෞරවය අපිට දිනාගන්න පුළුවන් වුණා.

ඒ විනය මතුවටත් තියෙන්න ඕන. එක්කෙනෙකුට දෙන්නෙකුට මුළු රටකට කළු ලපයක් ඇතිකරන්න පුළුවන්. තමන්ට තමන් පාලනය බැරි අය හමුදාවේ හෝ පොලිසියේ හෝ සිටිය යුතු නැතැයි ද රාජපක්‍ෂ මහතා කීය.

ජනාධිපතිතුමා මෙසේ ද කීය. රට එක්සේසත් කළ සටනේදී සබරගමුවේ තරුණ තරුණියෝ දෙදහසකට ආසන්න පිරිසක් දිවි පූජා කළා.

මාවිල්ආරු මෙහෙයුම ආරම්භ කරලා ඉකුත් 16 වැනිදාට අවුරුදු තුනක් සම්පූර්ණ වුණා. මුළු කොටි නායකත්වයම විනාශයට පත්කරලා අදට මාස තුනයි. මේ තරම් ඉක්මනට මේ දැවැන්ත කාර්යය කරන්න අපිට පුළුවන් වෙයි කියලා ලෝකයේ කවුරුවත් සිතුවේ නෑ.

අපි යුද්ධයේ දී සතුරා විස්මයට පත්කළා. මුළු ලෝකයම විශ්මයට පත් කළා.

මේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වෙලා අපි නිකන් හිටියේ නෑ. ජාතික ආරක්‍ෂාව පූර්ණත්වයට පත්කරනතුරු අපි අවදියෙන් සිටිනවා. ජනතාවගේ ආරක්‍ෂාව රැකගැනීමට කැපවෙනවා.

අපිට ඕනෑ තව අවුරුදු දහස් ගණනක් ගියත් වෙන්කරන්න බැරි රටක් ;ගාඩනඟන්නයි. ඒවාගේම ජාත්‍යන්තර ලෝකයෙත් අපේ ජනතාවගේ නිදහස තහවුරු කරන්න.

ජනතාවගෙන් ලබන ගෞරවය, සැලකිලි ආරක්‍ෂා කර ගැනීමේ වගකීමත්, යුතුකමත් රණවිරුවෝ සතුයි.

මේ රට ගොඩනඟන්න තනිවම බෑ. සියලු දෙනා එකතුවිය යුතුයි. දැන් ඒ සඳහා කාලය එළැඹිලා යැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

රට එක්සේසත් කිරීමේ උදාර කාර්යයට නිවැරැදි වූත්, අභීත වූත් නායකත්වය සැපැයීම උදෙසා ජනාධිපතිතුමාටත්, ආරක්‍ෂක ලේකම්වරයාටත්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමාටත්, යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක බළසේනාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, සබරගමුව පළාතේ බුහුමන් දැක්වීම ඊයේ රත්නපුර සමන් දේවාලයේ පැවැති උත්සවයේ අරමුණ විය.

සබරගමුව පළාත් සභාව, රත්නපුරය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොදු ජනතාව මේ උත්සවය සංවිධානය කර තිබුණි.