මංගලට කුරුණෑගල දී හූවක්: කතාව නවතා කොළඹ එයි ‘නිදහසේ වේදිකාවට’ එජාපයෙන්ම ප්‍රහාර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර, කරු ජයසූරිය, තිස්ස අත්තනායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (18) කුරුණෑගල දී පැවැති “නිදහසේ වේදිකාව“ රැස්වීමේදී මංගල සමරවීර මහතා රජයටත් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ටත් දෝෂාරෝපණය කර ඇති අතර ඉන් කෝපයට පත් මහජනතාව හූ හඬ දී ඝෝෂා කර ඔවුන්ට ප්‍රහාර එල්ල කරමින් දැඩි විරෝධයක් පළකර තිබේ.

ඊයේ පස්වරු 4.00 ට පමණ කුරුණෑගල තරුණ බෞද්ධ සමිති ශාලාව තුළදී එම රැස්වීම පවත්වා ඇත. එජාප යේ පාක්ෂිකයන් විශාල පිරිසක් ඊට සහභාගි වී තිබුණි. රැස්වීම ආරම්භ කර සුළු වේලාවකින් මංගල සමරවීර මහතා රැස්වීම ඇමතීම ආරම්භ කර තිබේ. ඔහු කතාව ආරම්භයේදීම උතුරේ යුද ජයග්‍රහණ අවතක්සේරුවට ලක් කරමින් කතා කිරීමට පටන් ගෙන ඇත.

තවද එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, ආරක්ෂක හමුදාවන්ටත් දෝෂාරෝපණය කරද්දී නැගිට සිටි රැස්වීමේ සිටි පිරිස් වහාම එම කතාව නවත්වන්නැයි කෑ ගසා ඇත.

එහෙත් මංගල සමරවීර මහතා කතාව නොනවත්වා සිදුකරද්දී කෝපයට පත් ජනතාව ඔවුන් අසුන්ගෙන සිටි පුටුවලින් වේදිකාව දෙසට ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ අවස්ථාවේ සෙසු මන්ත්‍රීවරුන්ගේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් මංගල සමරවීර මහතා බේරාගෙන ඇත. කෝපයට පත් ජනතාව දැඩි ලෙස ඝෝෂා කරමින් හැසිරෙද්දී පොලීසිය දැඩි ආරක්ෂා මැද්දේ මංගල සමරවීර මහතා ඇතුළු මන්ත්‍රීවරු වාහනවලට දමා පිටත් කර යවා ඇත.