සෞඛ්‍ය සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුවෙන් සහන ණයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 2760 ක අතිරේක සහනාදායී ණය මුදලක් ලෝක බැංකුව විසින් ප්‍රදානය කැර තිබේ.

උතුරු නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විශේෂ අවධානය යොමු කරමින් ප්‍රදානය කැරුණු මේ ණය මුදල සියලු පළාත්වල සියලු දිස්ත්‍රික්ක ආවරණය කැරෙන පරිදි වැය කැරේ.

උතුරු හා නැගෙනහිර පළාත් දෙක සඳහා මේ මුදලින් රුපියල් මිලියන 1380 ක් වැය කෙරෙන අතර ඉතිරි රුපියල් මිලියන 1380 දිවයිනේ අනෙක් පළාත්වල සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් යෙදවීමට නියමිතය. මේ පිළිබඳ මූල්‍ය ගිවිසුම් සඳහා පසුගිය 14 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සුමිත් අබේසිංහ මහතාත් ලෝක බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නියෝජිත නඹකෝ ඉෂි මහත්මියත් අත්සන් තැබූහ.

සෞඛ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය 2004 වසරේදී රුපියල් මිලියන 5760 ක් ප්‍රදානය කෙළේය. දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහා මේ ආධාරය ප්‍රදානය කැරිණි.

මේ මුදලින් කොටසක් සුනාමි සහන ක්‍රියාදාමයන් සහ කුරුළු උණ රෝගය වැළක්වීමේ කටයුතු වෙනුවෙන් යොදා ගැනුණ අතර එමගින් ඇති වූ හිඩැස පිරවීමට ලෝක බැංකුව මේ අතිරේක සහනදායී ණය මූල්‍යාධාරය ලබා දුන්නේය.

දිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ක්‍රියාත්මක කැරෙන මේ වැඩසටහන් 2010 වසරේ දෙසැම්බර් 31 වැනි දින වන විට නිම කිරීමට සැලසුම් කැර ඇත