මංගලගේ සම්බන්ධීකරණ ලේකම් මහේන්ද්‍ර ශ්‍රීලනිපයට එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් මහේන්ද්‍ර අන්ද්‍රාහැන්නැදි මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ මඟපෙන්වීම යටතේ අන්ද්‍රාහැන්නැදි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඹුරුපිටිය ප්‍රධාන සංවිධායක චන්දිම රාසපුත්‍ර මහතා හමුවී මෙසේ සන්ධානයට සහය පළ කෙළේය.

මාතර පඹුරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (15) මේ හමුව පැවැත්විණි.

මංගල සමරවීර මහතාගේ දේශද්‍රෝහී පිලේ සිට රටට ද්‍රෝහි වනවාට වඩා දේශපේ‍්‍රමියකු වශයෙන් රටට සේවය කිරීමට සන්ධානයට එක්වීම හොඳ යැයි සිතා මේ තීරණය ගත් බව අන්ද්‍රාහැන්නැදි මහතා මෙහිදී පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේදිකාවෙන් ගොඩනැගී වෙනත් පක්ෂවලටත් පුද්ගලයන්ටත් වේදිකා තනමින් පක්ෂයටත් රටටත් කරන කුහකකම් තවදුරටත් බලා සිටිය නොහැකි බැවින් රට එක්සේසත් කළ ජනාධිපතිතුමාගේ ගමනට ශක්තියක් දීමට මංගල සමරවීර මහතාත්, පක්ෂය හා තනතුරුත් අතහැර සන්ධානයට එක්වූ බවත් හෙතෙම කීවේය.