අවසන් ඡන්ද ප්‍රතිඵලය සැප්තැම්බර් මැදදී : ඇෆ්ගනිස්තාන ජනපතිවරණයේ වැඩි වාසි හිටපු ජනපති ‘කර්සායි’ට

ජනාධිපති කර්සායි සහ විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා අතර තියුණු තරගයක් පැවති ඉකුත් 20 දා එරට පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල එකිනෙක දැන් නිකුත් වෙමින් පවතී.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරින් කවුරු ඉදිරියෙන් සිටිනු ඇත්දැයි මහජනතාව සැක පළ කරමින් සිටී. කෙසේ වෙතත් දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල වලට අනුව කර්සායිට වැඩි වාසි අත්වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෙම ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර ඇත්තේ 30 % - 35 % තරම් අඩු ප්‍රතිශතයක් නිසා ඡන්දයේ වලංගු භාවය පිළිබඳවත් විවිධ මත පළ වේ.

ඉකුත් අඟහරුවාදා ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී පැය කිහිපයක් ගතවීමත් සමඟ පුපුරා ගිය අධිබල කාර් බෝම්බයකින් පුද්ගලයන් 40 ක් මිය ගියේය.

තලෙයිබානුවන් මෙම බෝම්බය එල්ල කළ බවට විශ්වාස කෙරේ.

ජනාධිපතිවරණය කඩාකප්පල් කරන බවට ඔවුන් ප්‍රතිඥා දී තිබිණ.

ඡන්දය ප්‍රකාශය කිරීමට සුදුසුකම් ලැබූ මිලියන 17 න් තලෙයිබාන් තර්ජන නොතකා මිලියන 5 ක් හෝ ඡන්ද පොළට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය තහවුරු වෙමින් පවතින බව යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

උග්‍ර සටන් පැවති බග්ලාන්, ලොගා, පක්ටියා, සාබුල්, නෙම්ලන්ඩ් වැනි ප්‍රදේශවල ඡන්ද දායකයන් පවා ඡන්දය දී තිබීමෙන් මෙය තහවුරු වන බව ඔවුන්ගේ මතයයි.

දින දහයක් තුළ ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම නිසා කර්සායිට ඔහුගේ බටහිර ජාතික සගයන් සමග එකතු වී අබ්දුල්ලා සමග ගිවිසුමකට පැවිණීමට ඉඩ කඩ සැලසෙනු ඇති බව විශ්ලේෂකයෝ ප්‍රකාශ කරති.

මෙම ජනාධිපතිවරණ දූෂණ සහ අක්‍රමිකතා වලින් ගහණ වූවක් බවටද චෝදනා එල්ල වී තිබේ. අවසන් ඡන්ද ප්‍රතිඵලය සැප්තැම්බර් මැදදී නිකුත් වීමට නියමිතය.