තෙමහල් නිවෙසක වහලය මත එස්ටීඑෆ් - පාතාලය වෙඩි හුවමාරුවක මාලිගාවත්තේ පාතාලය දෙදරුම් කයි තෙමහල් නිවෙසක වහලය මත එස්ටීඑෆ් - පාතාලය වෙඩි හුවමාරුවක පාත

පාතාල කල්ලි නායක ‘පාජි’ ඇතුළු පාතාලයන් හා විශේෂ කාර්ය බළකාය අතර ඊයේ (28) අලුයම 3.30 ට පමණ මාළිගාවත්ත ජුම්මා මජීඩ් පාරේ තෙමහල් නිවසක වහලයේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ‘පාජි’, ‘ආමි ටෝජි’ හා සාදි නැමැති පාතාල ප්‍රබලයෝ මරුමුවට පත් වූහ.

‘පාජි’ ට අයත් මේ සුවිසල් මහල් නිවෙසේ සකසා තිබූ භූගත අධි සුඛෝපභෝගී කාමරයක් ද විශේෂ කාර්ය බළකාය විසින් සොයාගනු ලැබ ඇත.

මෙසේ ඝාතනයට ලක්වූ “පාජි” ඇතුළු තිදෙනා මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම ඇතුළු විවිධ අපරාධ රැසක් සිදු කරමින් සාමාන්‍ය වැසියන් බියට පත්කර මාළිගාවත්ත හා තදාසන්න ප්‍රදේශ පුරා අණසක පතුරා ගෙන සිටි අය බව පොලිස් පරීක්‍ෂණ මගින් හෙළිව ඇත.

විනාඩි 15 ක් පමණ කාලයක් පැවැති වෙඩි හුවමාරුව බටහිර චිත්‍රපටයක දර්ශනයක් ලෙස අලුයම අවට සිටි අයට දර්ශනය වී තිබෙන අතර මිය ගිය අය සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්, සී ඉසෙඩ් වර්ගයේ නවීනතම පිස්තෝලයක්, ටියුප් 82 වර්ගයේ අත් බෝම්බ පහක්, ජංගම දුරකථන දෙකක් හා ජීව උණ්ඩ සහ මැගසින් ද විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් කලක් සැඟවී සිට නැවත මේ ප්‍රදේශයට පැමිණ සාහසික ක්‍රියාවක් සිදුකිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව ට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ට ලද තොරතුරු මත එදිනම අලුයම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට එම බළකා ප්‍රහාරක හා බුද්ධි නිලධාරීන් ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව සිදුකළ මෙහෙයුමේ දී පාජි නැමැති මාළිගාවත්තේ ප්‍රබල පාතාල නායකයාට අයත් තට්ටු තුනකින් යුතු සුවිසල් නිවෙස සෝදිසියේ දී එහි වහලය මතට නැගගත් පාතාල ප්‍රබලයෝ විශේෂ කාර්ය බළකායට වෙඩි ප්‍රහාර එල්ල කැර ඇත.

ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී ‘පාජි’ හා තවත් ප්‍රබලයකු සිද්ධිය වූ ස්ථානයේ දීම මරණයට පත්ව ඇති අතර අනෙකා වෙඩි ප්‍රහාරවලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා සඳහන් කෙළේ ය.

පසුව කළ සෝදිසියේ දී පාජි ට අයත් තෙමහල් නිවසේ මුළුතැන් ගෙයි පැන්ට්‍රි කබඩය තුළින් ඇතුල් විය හැකි භූගත කාමරයක් ද සොයා ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකිවී ඇත. එම කාමරය වායු සමනය කැර, ගුදිරි (මෙට්ට) දමා සකසා තිබුණු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙසේ මිය ගිය ‘පාජි’ විවිධ ස්ථානවල දී සිදුව ඇති මිනීමැරුම් 30 කට හා කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධ රැසකට ඍජුවම සම්බන්ධ බවට හෙළිව තිබෙන අතර මොවුන් තිදෙනා අධිකරණයේ විභාග වන නඩු ගණනාවක ට අවශ්‍ය කැර සිටි වරෙන්තුකරුවන් බව පොලිසිය පවසයි.

මාළිගාවත්ත ප්‍රදේශයේ නිවාස වලට පැන තමන්ට රිසි අයුරින් කටයුතු කරමින් සැඟව සිටි ‘පාජි’ මාළිගාවත්තේ පාතාල නායකයා ලෙස නම් දරා සිටි අතර ඔහුට පෙර මුලින්ම මේ කණ්ඩායමේ නායකයා වූයේ ආනමාලු ඉමිතියාස් නැමැත්තා ය.

එහි මුල්ම පාතාල නායකයා ලෙස ‘අබුක්කාන්’ ප්‍රදේශය බිය වද්දාගෙන සිටි අතර ඊළඟ නායකයා වූයේ පොට්ට නවුෆර් ය. මෙසේ එකි නෙකා ගෙන් නායකත්වය හිමිකර ගත් ‘පාජි’ හා ඔහුගේ කණ්ඩායමේ අති ප්‍රබලයන් වූ ටෝජි හා සාදි යන තිදෙනා ගේ මරණ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ ඊයේ (28) පෙරවරුවේ පැවැති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා මළ සිරුරු කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන ලදී.

මොවුන් ගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මාළිගාවත්ත පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මෙසේ මිය ගිය අය පිළිබඳ බිය හේතුවෙන් ප්‍රදේශවාසීන් තොරතුරු ලබාදීමට ඉදිරිපත්ව නොමැති බව පවසන පොලිසිය ඔවුන් මිය ගිය පසු අපරාධකරුවන් විසින් සිදුකළ විවිධ අපරාධ පිළිබඳ තවදුරටත් හෙළිවෙමින් ඇතැයි පොලිසිය සඳහන් කරයි. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකාය මේ වැටලීම සිදුකර තිබේ.