මැදිවිය ඉක්මවූ පිරිමියෙක් තරුණ කාන්තාවක් සමඟ විවාහ විය. මේ අතර ඔහුට මිතුරකුගෙන් දැනගන්නට ලැබෙන්නේ මුහුදු බෙල්ලන් කෑමෙන් නැවත තරුණභාවය ලබාගත හැකි බවකි.
එතැන් සිට ඔහු මුහුදු බෙල්ලන් කෑමේ ආසාවෙන් පෙළෙන්නට විය. එහෙත් මුහුදු පතුළේ කිමිදී අවදානම්, අඳුරු ගල්පර අතර පිහිනමින් බෙල්ලන් කැඩීමට තරම් කාය ශක්තියක් ඔහුට නැත.
මෙවිට තරුණ බිරිය ඔහුගේ සහායට ඉදිරිපත් වූවා ය. දෙදෙනා ගේ ම කැමැත්ත පරිදි කිමිදුම්කරුවකු සේවයට යොදා ගැනිණි. කිමිදුම්කරුවා තරුණය. ජවසම්පන්න ය. වියපත් සැමියා හා තරුණ බිරිය විවේක සුවයෙන් පසුවෙද්දී කිමිදුම්කරුවා ඔවුන් වෙනුවෙන් මුහුදු පතුලේ කිමිදෙයි.
අවදානම් ගල්පර අතර පිහිනමින් බෙල්ලන් කඩා ගෙනැවිත් දෙයි.
පළමු දිනෙයේම කිමිදුම්කරුවා විවාහක යුවළගේ සිත් දිනාගනී. දින කිහිපයක් ගතවූ තැන; තරුණ බිරිය ද කිමිදුම්කරුවා සමඟ බෙල්ලන් කැඩීමට යෑමට ගත්තා ය.
වැඩිකල් නො ගොස් මේ තරුණ යුවළ අතර හාදකමක් හට ගත්තේ ය. වියපත් මිනිහා තරුණභාවය ගැන සිහින මවමින් බෝට්ටුවේ හෝ වෙරළේ සිටියදී ඔහුගේ බිරිය හා කිමිදුම්කරුවා අඳුරු ගල්පර අතර කාලය ගත කළහ.
වියපත් මිනිසාගේ තරුණ භාවය පිළිබඳ විචිත්‍ර කල්පනාව රඳා පැවතුණේ කිමිදුම්කරුවා මත ය. එසේ ම තම සැමියා සතුව නැති තරුණ භාවය සැබවින් ම ස්පර්ශ කිරීමට තරුණ බිරියට අවස්ථාව ලැබෙන්නේ ද කිමිදුම්කරුවා වෙතින් ය.
විවාහක යුවළ තරුණ භාවය වෙනුවෙන් කිමිදුම්කරුවා මත යැපෙන්නට ගනිත්ම ඒ දෙදෙනා අභිබවා ආධිපත්‍යය පතුරුවන්නට කිමිදුම්කරුවා සමත් වෙයි. ඒ සොඳුරු ආධිපත්‍යයකි.
කතාවේ අවසානය ඛේදාන්තයකි. මගේ මතකය නිවැරදි නම් මේ චරිත ත්‍රිත්වය එන්නේ එමිල් සෝලා ගේ කෙටිකතාවක ය.
ඒ කිමිදුම්කරුවා අද ජංගම දුරකතනයක් බවට පත්ව ලොව පුරා සෑම තැනෙකම කිමිදෙමින් සැරිසරමින් සිටී. පෙම්වතාට හෝ පෙම්වතියට සැබවින් ම යා නොහැකි ඕනෑම තැනෙකට ඔවුන් වෙනුවෙන් යන්නේ ජංගම දුරකථනයයි.
වියපත් මිනිහාගේ තරුණ භාවය පිළිබඳ ආශාව කිමිදුම්කරුවා විසින් පිනවනු ලැබූ ආකාරයෙන් ම අද පෙම්වතුන් ගේ විචිත්‍ර කල්පනා ජංගම දුරකථනය විසින් පිනවනු ලැබේ.
අතීතයේදී උද්‍යාන, මුහුදු වෙරළ, වැටකෙයියා පඳුරු හෝ සිනමා ශාලා යනාදිය පෙම්වතුන් - පෙම්වතියන් හමුවූ තැන් ය. අද ඒ තැන් පාළුවට ගොසින් ය. පෙම්වතිය කහටගස්දිගිලියේ තම නිවසේ මුළුතැන්ගෙයි සිට ලූනු සුද්ද කරමින් සිටී.
ඇගේ පෙම්වතා ඒ වනවිට සිටින්නේ හපුතලේ දුම්රිය ස්ථානයේ ය. එහෙත් දුර නොතකා මේ දෙදෙනා ඔවුනොවුන් හමුවෙති. මනෝමය ප්‍රේම ලෝකයක සැරිසරති. භෞතික ස්පර්ශ ලෝකයේ ඇති කිසිම බාධාවක්, තහංචියක් මේ මනෝමය ලෝකයට අදාළ නැත.
අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් පමණි. ජංගම දුරකථන දෙකකින් ගොඩනැඟෙන රොමෑන්තික ලෝකයේ ඔවුන්ට සිත් සේ හැසිරිය හැකි ය. සිත් සේ වින්දනය ලබාගත හැකිය. ඩිජිටල් යුගයේ මානව ප්‍රේමය ද වෙනස් වෙමින් තිබේ.
සෑහෙන වෙලාවක සිට ජංගම දුරකථනය මුවට තුරුලු කොට ගෙන සිටින යුවතියකි. ඈ පරිසරයෙන් හුදෙකලාව සිටින්නීය.
අවට සිදුවන කිසිවක් ගැන ඇයට අවදානයක් නැත. එහෙත් යුවතියගේ දෙකොපුල් විටෙක රතු වෙයි. තොල් පොපියයි. ඇසිපිය නටයි. ඈ විටෙක කිකිණි හඬින් සිනා නඟයි. තවත් විටෙක ධ්‍යානයක සමවැදී සිටින ආකාරයක් පෙන්වයි.
මේ ප්‍රතිචාර හා ඉරියව් ඇගේ සිරුරෙන් පළ කෙරුණේ ඇය අවට පරිසරයෙන් ලැබුණු දෙයක් නිසා නොව ජංගම දුරකථනයෙන් එහා කෙළවරේ සිට ඇයගේ කන වැකුණු වදන් නිසා ය. ජංගම දුරකථන ප්‍රේම කතා බොහෝ දෙනෙකුට උන් හිටි තැන් පවා අමතක කරවන්නේ ය.
හරියටම වියපත් මිනිසා හා ඔහුගේ තරුණ බිරිය අභිබවා කිමිඳුම්කරුවා ආධිපත්‍යය පැතිරුවා සේම ය. මේ අනුව පෙම්බස් දෙඩීම ද ඩිජිටල් යුගයෙහි මිලක් ගෙවිය යුතු ක්‍රියාවක් බවට පත්ව ඇත. ජංගම දුරකථනය විසන්ධි වුවහොත් පෙම්වතාට පෙම්වතිය සොයාගත නොහැකි ය.
එවිට වින්දනීය මනෝමය ප්‍රේම ලෝකය ද බිඳ වැටේ. ඒ කඩා වැටීම ජීවිතයට හෙණ පහරක් සේ දැනෙයි. ඇයි? එය අද ජීවිතයේ ඓන්ද්‍රීය කොටසක් ව ඇති නිසා ය.
එකම නිවසේ සාලයේ යාබද ආසන දෙකක වාඩි වී සිටින විවාහක යුවළක් පවා ජංගම දුරකථනයෙන් එකිනෙකා අමතන වෙළෙඳ දැන්වීමක් මේ දිනවල රූපවාහිනියෙන් දැකගත හැකි ය.
ස්වභාවික පියවි හඬින් උනුනුන් මුහුණ බලාගෙන පෙම්බස් දෙඩීමට වඩා ජංගම දුරකථනයෙන් ඒ බව කීම වඩාත් ආනන්ද ජනක බැව් එයින් කියැවේ. මෙයත් එක්තරා ලෙඩකි.
සීමාව ඉක්මවූ විට කුමන දෙයක් වුවත් ලෙඩක් වෙයි. ඒ හරියට ම කුලියට ගත් කිමිදුම්කරුවා අර විවාහක යුවළගේ ජීවිතය පාලනය කරන තීරකයා බවට පත් වීම හා සමාන ය.
ඇතැම්විට එසේ සඳහන් කිරීම නිවැරැදි නොවන්නටත් ඉඩ තිබේ. ඩිජිටල් ලෝකයේ සතුට යනු භෞතික ස්පර්ශය ඉක්මවූ අතිශය චමත්කාරජනක, මනෝමය ලෝකයකි.
ඒ අනුව පෙම්වතුන්ට තවදුරටත් කායිකව හමුවීමට වඩා ජංගම දුරකථනයෙන් කතා කිරීම වින්දනාත්මක ය. ඒ ඩිජිටල් ලෝකයේ කිසිම නීතියක් - සීමාවක් - තහංචියක් වලංගු නොවේ. රජ කරන්නේ විචිත්‍ර කල්පනාවන් ම පමණි.
පෙම්වතුන් යුවළක් අතර විචිත්‍ර කල්පනා වින්දනීය ලෙස හුවමාරු කිරීමට ජංගම දුරකථනය හැර අන් දෙයක් මිහිපිට තිබේද?