ජනපති - අගමැති ආරක්ෂක වෙස් ගෙන මුදල් වංචා කළ අයෙක් ඇප පිට

ජනාධිපති ආරක්ෂක අංශය සහ අගමැති ආරක්ෂක අංශයේ වෙස් ගෙන පුද්ගලයන් 35 දෙනකුගෙන් රුපියල් දශ ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කරන ලදැයි කියන පුද්ගලයකු රුපියල් හාර ලක්ෂ දස දහසක මුදල් සහ ශරීර ඇප මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ජයකි ද අල්විස් මහත්මිය නියෝග කළාය.

මෙසේ ඇප මත මුදා හරින ලද්දේ කුරුණෑගල කොස්දෙණිය අරඹතිස්වැව පදිංචි ජී. නාරද ලක්ෂ්මන් වනිගරාජා නැමැත්තෙකි.

රජය ක්‍රියාත්මක කරන දිළිදු සහන වැඩපිළිවෙළ යටතේ තමාට පුද්ගලයන් ඩුබායි රටට යැවිය හැකි බව පවසා මොහු පුද්ගලයන් 35 දෙනකුගෙන් මුදල් වංචා කැර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙකී වංචා කරන විට සැකකරු පදිංචිව සිට ඇත්තේ දිවුලපිටිය පොලිස් වසමට අයත් හොරම්පැල්ල අරංගොඩ ප්‍රදේශයේය.

සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කැර තිබෙන පැමිණිල්ල අනුව මෙකී වංචා සිදුකිරීම සඳහා සැකකරු තමා ජනාධිපති ආරක්ෂක අංශය සහ අගමැති ආරක්ෂක අංශයේ බවට සඳහන් කරමින් සකසා තිබූ ව්‍යාජ හැඳුනුම්පත් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇති බව පැමිණිල්ලේ සඳහන්ය.

මීට අමතරව සැකකරු විවාහ හතරක් සිදු කැර ගෙන තිබෙන බවට කරුණු හෙළිවී ඇතැයි මේ නඩුවේ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

සැකකරු වෙනුවෙන් ගොඩ්ප්‍රි කුරේ, චනුක කුරේ යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

නඩුවේ වැඩිදුර විභාගය ලබන සැස්තැම්බර් මස 17 වැනි දිනට කල් තැබිණි.