බටලන්ද වධකාගාරයේ නඩුව ඩග්ලස් පීරිස් ඇතුළු 5කට වසර 5ක සිර දඬුවම්

පසුගිය 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ගම්පහ මහාධිකරණය ඊයේ (26) බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කෙළේ ය.

ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා විසින් මේ විත්තිකරුවන්ට නියම කරන ලද එම සිර දඬුවම නියම කළ දිනයේ (26) සිටම ක්‍රියාත්මක කිරීමට ද නියෝග කෙරිණි.

විත්තිකරුවන්ට එරෙහිව තිබූ තවත් චෝදනා 6 කින් ඔවුන් නිදහස් කළ මහාධිකරණ විනිසුරු වික්‍රමාරච්චි මහතා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරින් නිල ඇඳුමට මුවා වි නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට ඉඩ දිය නොහැකි බව කීය.

මේ නඩුවෙන් පොලිසියේ හිටපු නිලධාරින් වූ ඩග්ලස් පීරිස් , ගාමිණි රත්නායක , ඉහල පණ්ඩිත ගෙදර ජයරත්න , මහදුරගේ් රණතුංග , රන්ජිත් ජයසේකර යන විත්තිකරුවෝ නඩු විභාගය අවසානයේ ඉදිරිපත් කර තිබූ එක් චෝදනාවකට වරදකරුවන් වී සිර දඬුවම් ලැබීය.

විත්තිකරුවන්ට දඬුවම් නියම කළ විනිසුරු වික්‍රමාරච්චි මහතා නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු බවත් උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැකි බවත් අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහාධිකරණ විනිසුරුවරයා අභියාචනාධිකරණය නියෝග නොකළේ නම් මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් සිදු නොවන්නට ඉඩ තිබුණා. රටේ භීෂණයට එරෙහිව භීෂණයක් ක්‍රියාත්මක වී තිබූ නිසා දෙමව්පියන් පැමිණිල්ලක් කිරීමට නොහැකි ව තිබුණි. අවසානයේ දී දරුවා අහිමි වීමේ නඩු විභාගයටත් පෙර දෙමව්පියන් මෙලොවෙන් සමු ගෙන තිබුණා.

රටක කැළෑ නීතිය ක්‍රියාත්මක විය යුතු නැත. අධිකරණය රටේ සැමට එක සමාන විය යුතුයි. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කස්සප වික්‍රමසේකර මහතා කරුණු දක්වමින් මේ චූදිතයන්ට ලබා දෙන දඬුවම මඟින් යළිත් භීෂණ තත්ත්වයක් මේ රට තුළ ඇති වීම වැළැක්වීමට පූර්වාදර්ශයක් ද විය යුතු බව කීය.

ඔවුන් පොලිස් නිලධාරීන් නිසා විවිධ උසස් වීම් වරප්‍රසාද අහිමි විය හැකියි’ නමුත් දරුවකු අහිමි වී ගිය දෙමව්පියකුට එම දරුවා ආපසු නොලැබේ. එයට කව්ද වගකියන්නේ යයි ද රජයේ නීතිඥ වික්‍රමසේකර මහතා තවදුරටත් කීය.

විත්තිකරුවන් චෝදනාවට වරදකරුවන් යැයි තීරණය කිරීමෙන් පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරුන් විත්තිකරුවන්ට ලිහිල් දඩුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

දෙල්ගොඩ කඳුබොඩ අඹසෙවන නිවසේ පදිංචිව සිටි උදය චන්ද්‍ර ලියනගේ හා රතනචන්ද්‍ර ලියනගේ යන සොහොයුරන් දෙදෙනා 1989 ජූලි 07 දින පැහැරගෙන ගොස් මරා දැමීම මෙම නඩුවට විෂය විය.

පැහැරගෙන යාම , අයුතු ලෙස සිරකර තැබීම ඒ සඳහා නීති විරෝධී රැස්වීම , මරණය සිදු කිරීම යන කරුණු වලට අදාළ චෝදනා හයකින් විත්තිකරුවන් නිදහස් කෙරිණි. එහෙත් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාම යන චෝදනාවට මොවුන් වරදකරුවන් කෙරිණි.

පැහැරගෙන ගොස් සිටි මේ සහෝදරයින් ගෙන් රතනචන්ද්‍ර ලියනගේ මහතා පසුව මරා දමා තිබුණි. බේරි ආ උදයචන්ද්‍ර ලියනගේ නඩු විභාගයේ දී සාක්කි දුන්නේ ය.

මෙම තරුණයින්ගේ පැහැරගෙන යාම පිළිබඳ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ හබයාස් කෝප්‍රස් පෙත්සමක් සළකා බලා කළ නියෝගයක් මත සිදුකළ පරීක්ෂණය අවසානයේ නීතිපතිවරයා මේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවැරීය.

මෙම නඩුව ප්‍රථමයෙන් ගම්පහ මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ . නපූර් මහතා ඉදිරියේ විභාග කෙරිණි. ඉන් පසුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ ත් අවසාන වශයෙන් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ඉදිරියේ මෙම නඩුව විභාග කෙරිණි.

රජයේ නීතිඥ චානක විජේසිංහ මහතාත් රජයේ නීතිඥ දුලිප් ජයකොඩි මහතාත් ඉන් පසු රජයේ නීතීඥ දිස්නා වර්ණකුල මහත්මිය මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ අතර අවසානයේ රජයේ අධිනීතීඥ කස්සප වික්‍රමසේකර මහතා පෙනී සිටියේ ය.

පළමු වන විත්තිකාර ඩග්ලස් පීරිස් මහතා වෙනුවෙන් නීතීඥ ප්‍රසන්නලාල් අල්විස් මහතා සමග රනිල් කාරියප්පෙරුම සහ චාමර වන්නිසේකර යන මහත්වරුන් ද 2 , 3 , 4,5 විත්තිකරුවන් වෙනුවෙන් තඝඥ නිශ්ශංක නානායක්කාර මහතා සමග සංජය සෙනෙවිරත්න මහතා නඩු විභාගයේ දී පෙනී සිටියහ.