මහේල-ඩිල්ෂාන්-සමරවීරගේ පිති හරඹයෙන් ශී‍්‍ර ලංකාව කඩුලු 3කට ලකුණු 293යි

ශී‍්‍ර ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් හා තිලාන් සමරවීරගේ පිතිහරඹ මධ්‍යයේ ශී‍්‍ර ලංකාව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඊයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 3 කට ලකුණු 293 ක් රැස්කර ගෙන සිටියේය.

මහේල නොදැවී ලකුණු 108 ක් ද, සමරවීර නොදැවී ලකුණු 82 ක් ද ලබාගෙන සිටියහ. මේ දෙදෙන සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159 ක නොබිඳි සබඳතාවයක් ගොඩනඟා සිටියහ.

පන්දු 217 කට මුහුණ දුන් මහේල හතරේ පහර 14 ක් එල්ල කොට සිටි අතර පන්දු 167 කට මුහුණ දුන් සමරවීර හතරේ පහර 11 ක් එල්ල කර තිබිණි. ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 92 ක් රැස් කෙළේය.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ශතකයකින් භෞතීස්මය ලැබුවේද මහේල ජයවර්ධන වෙතිනි.

ඒ 1998 වසරේ පැවැති ගාල්ල ක්‍රීඩාංගණයේ මංගල ටෙස්ට් තරගයේදීය. එම තරගයේදී ඔහු ලකුණු 167 ක් ලබා ගත් අතර එයද නවසීලන්තයට එරෙහිව වීම දෛවෝපගත සිදුවීමකි.

මහේල ඊයේ වාර්තා කෙළේ ඔහුගේ 26 වැනි ටෙස්ට් ශතකයයි. එය නවසීලන්තයට එරෙහිව මහේලගේ තෙවැනි ටෙස්ට් ශතකය හා ගාල්ලේදී ඔහු ලබා ගත් පස්වැනි ටෙස්ට් ශතකය විය.

ඊයේ උදෑසන ඇද හැළුනු වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පැය එකහමාරකින් පමා විය.

ඩරල් හාපර් (ඔස්ට්‍රේලියාව) හා නයිජල් ලෝන්ග් (එංගලන්තය) යන තරග විනිසුරුවන් විසින් පෙරවරු 10.45ට පිටිය පරීක්ෂා කිරීමෙන් පසුව පෙරවරු 11. 30ට තරගය ආරම්භ විය.

කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායක ඩැනියල් වෙටෝරිගේ කැඳවීම අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ තෙවැනි පන්දුවේදීම කඩුල්ලක් අහිමි විය.

ක්‍රිස් මාටින් ගේ පන්දුවකට කඩුලු රකින බ්‍රෙන්ඩන් මැකලම් අතට උඩ පන්දුවක් දෙමින් තරංග පරණවිතාන ලකුණු නොලබාම දැවී ගියේය.

හතරේ පහර 2 ක් එල්ල කළ නායක කුමාර් සංගක්කාර ඊළඟට දැවී ගියේය. සිය දෙවැනි ඕවරයේදී එම කඩුල්ල ලබා ගත්තේ ද ක්‍රිස් මාටින් ය. ‘මිඩ් විකට්’ හි පන්දු රකිමින් සිටි ඩැනියල් ෆ්ලින් අතට උඩ පන්දුවක් දෙමින් සංගක්කාර දැවී ගියේය.

මේ අනුව තරගයේ තෙවැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකා පිලේ කඩුලු 2 ක් මුළු ලකුණු 16ට බිඳ වැටී තිබිණි.

මේ අසරණ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩගත්තේ තිලකරත්න ඩිල්ෂාන් හා මහේල ජයවර්ධන ය. මේ දෙදෙනා දිවා ආහාරය සඳහා තරගය නතර කළ අවස්ථාව වන විට ශ්‍රී ලංකා මුළු ලකුණු ප්‍රමාණය 111 දක්වා ඉහළ නංවා තිබිණි.

ටෙස්ට් තරගයක ප්‍රථම වතාවට ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කළ ඩිල්ෂාන් ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කෙළේය.

පන්දු 30කින් වාර්තා වූ එම අර්ධ ශතකයට හතරේ පහර 8 ක් හා හයේ පහරක් ද ඇතුළත් විය. එය ඔහුගේ 13 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර තිබුණේ අර්ජුන රණතුංග ය. ඒ පන්දු 31කිණි. අර්ජුන එම අර්ධ ශතකය ලබා ගත්තේ 1986 – 87 දී ඉන්දියාවට එරෙහිව කාන්පූර්හිදී ය.

දිවා ආහාරයෙන් පසුව හයවැනි ඕවරයේදී ඉයන් එබ්‍රයන් විසින් ඩිල්ෂාන් දවාලමින් ඔහු හා ජයවර්ධන ගොඩනගා ගෙන ආ සබඳතාව බිඳ දමන ලදී. පන්දුව සියපිත්තේ අග වැදී කඩුල්ලේ ගැටීමෙන් ඩිල්ෂාන් ශතකය පෙනි පෙනී තිබියදී ලකුණු 92කට දැවී ගියේය.

පන්දු 72ක ඔහුගේ අගනා ඉනිමට හතරේ පහර 12 ක් හා හයේ පහරක් ඇතුළත්ව තිබිණි. ඩිල්ෂාන් හා ජයවර්ධන තෙවැනි කඩුල්ල සඳහා පන්දු 145කදී ලකුණු 118 ක් එක් කළහ.