දේශීය ඊ- අන්තර්ගත නිර්මාණකරුවන්ට ජාතික සම්මාන

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දේශීය ඊ -අන්තර්ගත නිර්මාණකරුවන් ඇගයීමට ලක් කර ජාතික සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
ඒ අනුව පොදුජන සමාජයට වැඩදායක තොරතුරු තාක්ෂණ අන්තර්ගතයන් (ICT content) සහ තොරතුරු තාක්ෂණ යෙදවුම් (ICT Application) නිර්මාණය කර ඇති අයට හා ආයතනවලට මෙම ‘ඊ -සමාජ විශිෂ්ඨතා’ සම්මාන සඳහා අයදුම් කළ හැකි බව මෙම නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා පවසයි.

නිර්මාණශීලි තොරතුරු තාක්ෂණ යෙදවුම් ප්‍රචලිත කිරීම හා එවැනි යෙදවුම් නිර්මාණය කළ පුද්ගලයන් හා ආයතන ජාතික වශයෙන් ඇගයීමට ලක් කිරීම ‘ඊ-ස්වාභිමානී’ සම්මාණ උළෙලේ අරමුණයි.

ක්ෂේත්‍ර අටක් ඔස්සේ මෙම තරගාවලිය සඳහා අයදුම් කළ හැකි බව ඊ - සමාජ වැඩසටහන් ප්‍රධානී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය ප්‍රකාශ කළාය.

ඊ-රජය හා ආයතන, ඊ-සෞඛ්‍ය හා පරිසරය, ඊ- අධ්‍යපනය හා ඉගැනුම්, ඊ- විනෝදාත්මක අංග හා ක්‍රීඩා, ඊ-සංස්කෘතික හා ජාතික උරුමයන්, ඊ- විද්‍යා හා තාක්ෂණ, ඊ- ව්‍යාපාර හා වාණිජ, ඊ -අන්තර්ග්‍රහන හා සහභාගිත්වයන් එම ක්ෂේත්‍ර වේ.

මෙම අයදුම්පත් භාරගැනීම ලබන මස 15 වනදායින් අවසන් වේ.

මෙම තරගාවලිය පිළිබඳ විස්තර දැනටමත් පුවත්පත්වල පළ කර තිබෙන අතර වැඩි විස්තර http://nca.nenasala.lk අන්තර්ජාල ලිපිනයෙන් ද ලබා ගත හැකිය.