‘නිදහසේ වේදිකාවෙන්’ මංගල පලවා හැරියේ එජාප මන්ත්‍රීන් පිරිසක් ගාමිණී ජයවික්‍රම චෝදනා කරයි


කුරුණෑගල පැවැති නිදහසේ වේදිකාවෙන් මංගල සමරවීර මහතාව හූ තබා පලවා හැරීමේ සිද්ධිය පිටුපස එ.ජා.ප. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් සිටින බවත් ඔවුනට එරෙහිව විනය පරීක්ෂණයක් වහාම පවත්වන ලෙසත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් සිටින බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දිගින් දිගටම ප්‍රකාශ කරද්දී රජය පිළිබඳ ද්වේෂයෙන් බලන මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ තමාට හූ කීම රජයේ කුමන්ත්‍රණයක් බවය.

මේ සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් බිය ගැන්වීම සඳහා කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වන බවට ප්‍රචාරයක් ගෙන යන ලෙස විදේශ සංචාරයක නිරත විපක්ෂනායක වරයා දුරකථනයෙන් පක්ෂ නායකයින්ට දැනුම් දී ඇති බව දැන ගන්න තිබේ.

එසේ නොකළහොත් වැරැදි පූර්වාදර්ශයක් සමාජයට යා හැකි බවත් රටපුරාම පවත්වන රැළිවල මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් සිදු විය හැකි බවත්් වික්‍රමසිංහ මහතා තරයේ ප්‍රකාශ කර ඇති බවද දැන ගන්නට තිබේ.

මේ පිළිබඳව විපක්ෂ නායකවරයාට හිතවත් මාධ්‍යවේදීන් යොදා ගෙන පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් නායකත්වයෙන් ඉල්ලා ඇත.

නිදහසේ වේදිකාවේ පටිගත කළ රූපරාමු සවිස්තරාත්මකව අධ්‍යයනයක නියැලී ඇති මහලේකම් තිස්ස අත්තනායක, නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරු මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයිද පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැන ගන්නට ඇත.