රනිල් දකුණට ආවොත් එජාපය හාන්සි ආධාරකරුවන්ගෙන්ම දොස්මුර

මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය ඊයේ (23) රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාතර සහ හම්බන්තොට රැස්වීම්වලට සහභාගි නොකරන ලෙස එම ප්‍රදේශවල එ.ජා.ප. පාක්ෂිකයෝ ඉල්ලා සිටියහ.

මාතර සමූපකාර ශාලාවේදී ඊයේ (23) පෙරවරුවේ මෙම රැස්වීම පැවැත්වුණි. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් පැවැති එම රැස්වීමට ආරාධිත මන්ත්‍රීවරු රැසක්ම සහභාගි වී සිටියහ.

රැස්වීම ආරම්භයේදීම මාධ්‍යයට හෝ වෙනත් කිසිම අයකුට රැස්වීමේ තොරතුරු දැන ගැනීමට නොලැබෙන පරිදි ආරක්ෂාව තරකර තිබුණි. පාක්ෂිකයන් මෙහිදී විශේෂයෙන් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ රැස්වීම්වලට සහභාගි වුවහොත් දකුණෙන් එජාපයට ලැබෙන්නට ඇති ඡන්ද ස්වල්පයවත් නොලැබන බවයි.

එපමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම්වලදී කියන ඇතැම් මෝඩ කථා නිසා පක්ෂය තව තවත් හෑල්ලුවීමට ඉඩ ඇති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම ඉල්ලීම නිසා සාගල රත්නායක මහතා දැඩි අපහසුතාවකට පත්ව තිබුණි. අනතුරුව ඔහු ප්‍රකාශ කෙළේ එස්. බී. දිසානායක මහතා සහ වෙනත් පක්ෂයේ වගකිව යුතු පුද්ගලයෝ එම රැස්වීම්වලට සහභාගී කරවන බවයි.