කොටින්ට සහාය දුන් SP කුරේට එක් සැලැස්මකට ලක්ෂ 50 ක් දීලා

කොටි සංවිධානයේ අපරාධවලට සහයෝගය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතාට එක් සැළැස්මක් සඳහා කොටි සංවිධානය රුපියල් ලක්ෂ 30 – 50 අතර ප්‍රමාණයක් ගෙවා ඇති බව හෙළි වී තිබේ.

ත්‍රස්ත විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී එම තොරතුරු හෙළි වී ඇත. ත්‍රස්තවාදීන්ට සහයෝගය දීමට අමතරව ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරීවරයා වෙන් කරන ලද වාහන මෙරටට ගෙන් වීමේ ජාවාරමද කරගෙන ගොස් ඇත.

ඔහුට අයත් යැයි පරික්ෂාවට ලක් කෙරෙන වාහන තීරු බදු රහිතව මෙරටට ගෙන්වා හොර රහසේ ලියාපදිංචි කළ ඒ වා බව හෙළි වී ඇත.

එම ජාවාරම සඳහා තවත් සැළකිය යුතු පිරිසකගේ සහයෝගය ලැබී ඇති බවට සැක කෙරේ.

සැකකරුවගෙන් ලබාගත්් තොරතුරු මත තවත් පිරිසක් අද හෙට අත්අඩංගුවට ගැනෙනු ඇත.

එම පොලිස් අධිකාරිවරයා පොලිසියට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස බැඳී ඇත්තේ විවාහකයකු බව සඟවා ගෙන බව හෙළි වී ඇත.

එපමණක් නොව මොහුගේ සේවා කාලය තුළ දී කළ ඇතැම් වැරැදි වලට අවස්ථා කිහිපයකදීම හිටපු පොලිස්පතිවරුන් විසින් මොහුගේ සේවය අත්හිටවන ලෙස පොලිස් කොමිසමට ලියා ඇතත් එම ඉල්ලීම ක්‍රියාත්මක වී නැත.

ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කළ බලවේගය කවුද යන්න සෙවීමටද පරික්ෂණ අංශවල අවධානය යොමු වී තිබේ.