SSP කුරේ ජනපති ඝාතන තැතකට කොටි ගෙන ගිහින්

එල්.ටී.ටී.ඊ.ය සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට ඉකුත්දා අත්අඩංගුවට ගත් පොලිස් අධිකාරිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් දෙදෙනෙකුට ගමන් පහසුව සැලසූ බවට අනාවරණය වී තිබේ.

නවීකරණය කරන ලද මාතර නිල්වලා පාලම නැවත ජනතා අයිතියට පැවරීම සඳහා පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා ඉලක්ක කැර ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමකට පැමිණි ත්‍රස්තවාදීන් දෙදෙනෙකු එම ස්ථානයට රැගෙන යාමට සැකකාර පොලිස් අධිකාරිවරයා එසේ කටයුතු කැර ඇතැයි මේ අනුව හෙළිවී ඇත.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් පොලිස් අධිකාරිවරයාගේ රථයෙන් ප්‍රවාහනය කැර අදාළ ස්ථානයට රැගෙන යාමට කටයුතු කැර ඇතත් එහි තිබූ ආරක්ෂක වාතාවරණය මත එම ස්ථානයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් රැගෙන යාමට නොහැකි වී තිබේ.

මෙම කරුණු හෙළිවූයේ පොලිස් අධිකාරිවරයා කළ පාපොච්ඡාරණයකින් බව ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මාතර රැස්වීමක දී ප්‍රකාශ කෙළේය.

2007 දෙසැම්බර් 26 දා පැවැති එම පාලම නැවත ජනතා අයිතියට පැවරීමේ උළලේ දී මෙසේ ජනාධිපති ඉලක්ක කැර පහරදීමට ආ කොටි දෙදෙනාට උපකාර කර ඇතැයි පොලිස් අධිකාරිවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇති බව පරීක්ෂණ පවත්වන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

ඉකුත් 12 දා රාත්‍රී සැකකාර පොලිස් අධිකාරිවරයා ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර මොහු ගම්පහ හා කොළඹ ප්‍රදේශවලදී ප්‍රභූවරයකු හා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියකුට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරවලට පැමිණි ත්‍රස්තවාදීන් සමඟ ද සමීප සබඳතා පැවැත් වූ බවට අනාවරණය වී ඇත.

මේ පිළිබඳ විශේෂ කණ්ඩායම් කීපයක් පරීක්ෂණ අරඹා තිබෙන අතර මෙසේ ත්‍රස්තවාදීන්ට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කරමින් සිටි ලක්ෂ්මන් කුරේ නැමැති අය බව ත්‍රස්ත විමර්ශන අංශය සඳහන් කෙළේය.
කොටින්ගෙන් ලක්ෂ 30ක්

විජයානී එදිරිසිංහ

ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ පොලිස් බුද්ධි අංශයට සම්බන්ධ වී කටයුතු කරන කාලයේ පොලිස් බුද්ධි තොරතුරු කොටි සංවිධානය අතට පත් කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

කොටි බුද්ධි ජාලයේ සාමාජිකයන් සමඟ සමීප සම්බන්ධකම් පවත්වමින් මේ සඳහන් තොරතුරු ලබා දී ඇත. තොරතුරු සඳහා කොටි සංවිධානය සැකකරුට ලක්ෂ ගණනින් මුදල් ලබා දී තිබේ. එසේ ලැබෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඔහු විදේශ රටවල තැන්පත් කර ඇතැයි පැවසේ.

මොහුට අයත් වාහන පහක් මේ වන විට ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. බදුල්ලේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කොටි සැලැස්මට සහාය දීමට අමතරව අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතන සිද්ධියට පොලිස් අධිකාරිවරයා සම්බන්ධ වී තිබේ.

බදුල්ලේ බෝම්බ තැබීමේ සිද්ධියට ලක්ෂ 15ක මුදලක් කොටින්ගෙන් ලබාගෙන ඇති ලක්ෂ්මන් කුරේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට සහාය දීම පිණිස ද ලක්ෂ පහළොවක් ගෙන ඇති බව හෙළි වී තිබේ.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය වූ දින වැලිවේරියේ ක්‍රීඩා උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලට අදාළව සංවිධායකවරුන් පැවැත් වූ සෑම සාකච්ඡාවටයකටම මොහු සහභාගි වී තිබේ. ඒ අනුව අමාත්‍යවරයා ඝාතනය කිරීමේ කොටි සැලැසුමට අවශ්‍ය සියලු තොරතුරු කොටින් ට ලබා දී තිබෙන්නේ සැකකරු විසින් බව මේ වන විටත් හෙළි වී ඇත.

සැකකරු සතු විදේශීය දේපොල පිළිබඳ සොයා බැලීමට නිලධාරී කණ්ඩායමක් විදේශ ගත වී සිටිති. කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය රහස් පොලීසිය මේ සම්බන්ධව පුළුල් පරීක්ෂණ පවත්වයි.