ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලොව දෙවැනි තැනට වසර 6ක් ඉදිරියෙන් සිටි ඔස්ට්‍රේලියාව පහලට වැටෙයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්විය.

වසර 6 ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ජයග්‍රහණ වාර්තා කරමින් පළමු ස්ථානයේ සිටි ඔස්ට්‍රේලියාව සිවුවැනි ස්ථානයට ඇද වැටීම නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ කැපීපෙනෙන සටහනකි.

ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අළුබඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ලකුණු 197 කින් පරාජය වීමත්, ටෙස්ට් තරගාවලිය පරාජයවීමත් සමඟ ඔස්ට්‍රේලියාව පහලට වැටුණි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව කණ්ඩායම් තක්සේරු කිරීම අනුව ලකුණු 119 බැගින් සම මට්ටමක දැනට පසුවේ. එහෙත් හෙට ඇරැඹෙන නවසීලන්තය සමඟ ටෙස්ට් තරගයේ ජය ලබා ගැනීමට හැකිවුවහොත් ශ්‍රේණිගත කිරීමේ තක්සේරු ලකුණු ප්‍රමාණය වැඩිකරගෙන ශ්‍රී ලංකාවට දෙවැනි තැන වඩාත් ශක්තිමත් කරගත හැකිවේ.

ඔස්ට්‍රේලියාව මේ මස මැදදී තක්සේරු ලකුණු 124 ක් ලබා ප්‍රථම ස්ථානයේ පසුවූ අතර දකුණු අප්‍රිකාව (ලකුණු 122) දෙවැනි තැනද, ශ්‍රී ලංකාව (ලකුණු 119) තෙවැනි තැනද ඉන්දියාව (ලකුණු 119) සිවුවැනි තැනද පසුවූහ. එංගලන්තය (ලකුණු 99) පස්වැනි තැන සිටියේය.

එංගලන්ත පිල අළුබදුන ක්‍රිකට් තරගාවලිය ජය ගත්තද නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම අනුව තවමත් පස් වැනි ස්ථානයේ පසුවේ. එහෙත් තක්සේරු ලකුණු ප්‍රමාණය 105 දක්වා වැඩිවී ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් පිල 2007 වසරේ සිට තරගාවලි 4 ක් ජයගෙන ඇති අතර 2 ක් ජය පරාජයෙන් තොරව නිමා කෙළේය.

එම වසරේ සිට ශ්‍රී ලංකාවේ පැවැති සෑම ටෙස්ට් තරගාවලියක්ම ජය ගැනීමද විශේෂත්වයකි.