අඟුලානේ මිය ගිය තරුණයන්ගේ පවුල් වෙත මිලියනයක වන්දියක්

අඟුලාන පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයන් දෙදෙනාගේ පවුල් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (21) රුපියල් මිලියනයක වන්දි මුදලක් ප්‍රදානය කෙළේය.

මියගිය තරුණයන් දෙදෙනාගේ මාපියන් ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේදී ඊයේ (21) හමුවූ අවස්ථාවේදී මේ වන්දිය ප්‍රදානය කෙරිණි.

අහිමි වූ ජීවිතවල වටිනාකම මිල කළ නොහැකි බව පැවැසූ ජනාධිපතිවරයා අඟුලාන සිද්ධියට වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අවධාරණය කෙළේය.

මිය ගිය තරුණයන්ගේ මවුපියන් හඬා වැටෙමින් ජනාධිපතිවරයා වෙත දුක කියා සිටි අතර තම දරුවන්ට අත්විඳීමට සිදුවු විපත කිසිදු දරුවකුට අත්වීමට ඉඩ නොතබන්න යැයි ඉල්ලා සිටියහ.

මාපියන් වෙත සිය සංවේගය පළකළ ජනාධිපතිවරයා අනාගතයේදී මෙවන් සිද්ධීන් නොවීමට හා වැරැදි කරන අනෙකුත් නිලධාරීන්ට පාඩමක් වන ලෙස නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් කිවේය.

මේ සිදුවීම කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බවත් අහිංසක තරුණ ජීවිතවලට තර්ජන එල්ල කිරීමට කිසිවකුටත් අයිිතියක් නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

නිලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සමස්ථත පොලිස් සේවයම අපකීර්තියට පත්වීම යහපත් තත්ත්වයක් නොවන බව කී ජනාධිපතිවරයා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බාධාවකින් තොරව ස්වාධීනව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් අදාළ අංශ වෙත ලබාදී ඇති බවත් වැඩිදුරටත් කීය. මිලින්ද මොරගොඩ, ජීවන් කුමාරතුංග ඇමැතිවරුන් ද, පළාත් සභා මන්ත්‍රී දුමින්ද සිල්වා, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ.