උසස් පෙළ ප්‍රශ්න පත්‍ර දෝෂ ගැන මහාචාර්යවරුන් හා සාකච්ඡා කරන්න විභාග කොමසාරිස් උපදෙස් දුන් බව ඇමැති සුසිල් කියයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රශ්න පත්‍රවල සිදුවී ඇතැයි කියන දෝෂ සම්බන්ධයෙන් ප්‍රශ්නපත්‍ර සකස් කරන මහාචාර්යවරුන් සමඟ සාකච්ඡා කරන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවැසීය.

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසීම, ලකුණු දීමේ පටිපාටිය, ප්‍රශ්න පත්‍රවල වැරැදි නිවැරැදි බව සනාථ කිරීම, උත්තරපත්‍ර සමීක්ෂණය, නැවත සමීක්ෂණය ආදිය සිදුකරනුයේ ප්‍රශ්නපත්‍ර සකස් කරන ලද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වතුන් බවත් ඇමැතිවරයා කීවේය.

ඇමැතිවරයා එසේ පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජ.වි.පෙ.) සහ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් (එ.ජා.ප.) යන මහත්වරුන් විසින් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි.

මා දන්නා කරුණු අනුව සිංහල භාෂාව හා සාහිත්‍යයේ ඇතැම් කොටස් ගැනත් විද්වතුන්ගේ තර්ක විතර්ක තිබෙනවා. විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දරන විවිධ මත තිබෙනවා.

උදාහරණයක් ලෙස දක්වනවා නම් 10 වැනි ශ්‍රේණියේ පෙළපොතක පළවූ ‘මිදිවැල’ නාට්‍යය ගැන පිරිසක් එක් මතයක් ඉදිරිපත් කරන අතර තවත් පිරිසක් වෙනත් අදහසක් දැරුවා. ඒ නිසා මේවා අපට මෙතැන සාකච්ඡා කර වෙනස් කරන්න බැහැ යිද ඇමැතිවරයා කීවේය.