අපේ ගුවන් හමුදාව ලෝකයේ අංක එකට -ආරක්‍ෂක ලේකම්

ත්‍රස්තවාදීන් සමග සටන් කැර එම සටන ජය ගත් ලෝකයේ අංක එකේ ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

සටන් ක්‍රම පිළිබඳව ප්‍රායෝගික වෙමින් එයට ජයග්‍රාහී ලෙස මුහුණ දුන් එකම ගුවන් හමුදාවද ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව බව ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කෙළේය.

ත්‍රිකුණාමල ගුවන් හමුදා පුහුණු කඳවුරේදී ඊයේ (21) පැවැති විසිරයාමේ පෙළපාළියේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැවැසීය. මෙහිදී ගුවන් හමුදා කෙඩෙට් නිලධාරීහු 16 දෙනෙක් ඇතුළු 316 දෙනෙක් විසිර ගියහ.

එම උළෙල උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කොට තිබූ අතර ගුවන් යානා සංදර්ශන හා පැරෂුට් සංදර්ශන ද ඊට එක්කර තිබුණි.

යුද ජයග්‍රහණය ලබාගැනීම ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත්, යුද්ධයෙන් ජයග්‍රහණය ලැබූවද රටේ හෙට දවස වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

සියලු ගුවන් හමුදා භටයින් මහත් කැපවීමෙන් කටයුතු කිරීම අගය කරන බව සඳහන් කළ ඒ මහතා, ඒ වෙනුවෙන් සිය ප්‍රණාමය පිරිනමන බවද සඳහන් කෙළේය.

තමන්ගේ දරුවන් රට රැකීමේ උදාර කටයුත්තට යොමුකර තිබෙන මවුපියන්ට රජයේත්, සමස්ත ජාතියේත් ප්‍රණාමය පිරිනමන බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.